උතුරත් දකුණත් අද අවසන් සටනේ ජයග‍්‍රාහකයන්ට රුපියල් මිලියන 1.9 ක්

173

ජයග‍්‍රාහකයන් සඳහා පිරිනමන රුපියල් මිලියන 1.9 ක මුදල් ද සමගින් ‘නිදහස් සිලෝන් අභියෝග කුසලාන’ හිමිකර ගැනීම සඳහා උතුරු පළාත සහ දකුණු පළාත නියෝජනය කරන ක‍්‍රීඩකයෝ අද (05දා) ප:ව: 03.30 ට යාපනය දොරෙයිඅප්පා ක‍්‍රීඩාංගණයේදී අවසන් සටන වෙනුවෙන් තරග බිමට පිවිසෙති.

මෙම තරගයෙන් පරාජය ලබන කණ්ඩායමට ප‍්‍රදානය කෙරෙන මුදල රුපියල් 950,000/= ක් වන අතර ඒ අනුව අද තරගයේ ශූරතාව සහ අනු ශූරතාව හිමි කර ගන්නා දෙපිල නියෝජනය කරන ක‍්‍රීඩකයන්ට හා පුහුණු උපදේශක මණ්ඩලයට ප‍්‍රදානය කෙරෙන මුදල රුපියල් මිලියන 2.85 කි.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය අභිනවයෙන් හඳුන්වා දෙන ලද අන්තර් පළාත් මට්ටමේ කණ්ඩායම් අතර පිරිමි පාපන්දු තරගාවලියේ මූලික වටය ලීග් ක‍්‍රමයට දිවයිනේ සියලූම පළාත් ආවරණය වන පරිදි පැවැති අතර ඒ සඳහා සහභාගි වූ කණ්ඩායම් සංඛ්‍යාව 08 කි.

මූලික වටයේ ප‍්‍රථම ස්ථානය සබරගමුව පළාතට ද දෙවැනි ස්ථානය උතුරු පළාතට ද තෙවන ස්ථානය නැගෙනහිර පළාතට ද සිව්වැනි ස්ථානය දකුණු පළාතට ද හිමි වෙමින් නිමාවට පත්වුණු අතර අවසන් පූර්ව වටයේදී සුවිශේෂ ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් අද දිනයේ පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගැනීමට දකුණු පළාත සහ උතුරු පළාත නියෝජනය කරන ක‍්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් පූර්ව වටයේදී සබරගමුව දඬුවම් පහර ආශ‍්‍රිතව අභිබවමින් දකුණු පළාත ද නැගෙනහිර පළාත පරදා උතුරු පළාත ද අවසන් තරගයට වරම් ලබා ගත්තේය. දකුණ සහ සබරගමු අතර පැවති ද්විත්ව අවසන් පූර්ව වටයේදී දෙපිල ලබාගත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව එකම අගයක් ගත් හෙයින් දඬුවම් පහර ආශ‍්‍රිතව ජයග‍්‍රාහක පිල තීරණය කිරීමට සංවිධායකයන් හට සිදුවීම කැපී පෙනුණි.

අවසාන තරගයේදී එම්. නිදර්ශන්ගේ නායකත්වයෙන් උතුරු පළාත පිටියට අවතීර්ණ වන අතර ඔවුන් මෙවර තරගාවලිය පුරා අපරාජිත බව ආරක්ෂා කර ගත් එකම කණ්ඩායම බවට පත්ව සිටීම ඒ අතරේ කැපී පෙනේ. දැල රකින ක‍්‍රීඩක ජේ. අමල්රාජ්, ජූඞ් සුපන්, වී. ගීතාන්, ටී. ක්ලින්ටන්, එස්. ජෙයරාජ්, ඒ. ඩිලක්ෂන්, පී. පුවිදරන් සහ කේ. තෙනුෂාන් ගේ දක්ෂතා පිළිබඳව උතුරු පළාතේ අද දිනයේ දී ඉහළ බලාපොරොත්තු තබා සිටී. උතුරේ පුහුණුකරු ලෙස එම්. ආර්. එම්. ජස්මින් මහතා කටයුතු කරයි.

දැල රැකීමේ කාර්යයේ නිරතව සිටින රාසික් රිෂාඞ් ගේ නායකත්වයෙන් සැදුම්ලත් වන දකුණු පළාත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශිරන්ත කුමාර මහතා කටයුතු කරයි. ආර්. ඒ. චතුරංග, ඒ. ඞී. සී. මතුප‍්‍රිය, කේ. එම්. එන් රාජපක්ෂ, ලක්ෂාන් ධනංජය, ඊ. ඞී. ප‍්‍රභාත්, අවිශ්ක කවිඳු, මොහොමඞ් රිස්ලාන්, එච්. එස්. සචිත්, රෙහාන් වීරප්පුලි, කේෂාන් දුමිදු, සුපුන් ධනංජය සහ තරිඳු ධනුෂ්ක පිළිබඳව දකුණු පළාත ඉහළ බලාපොරොත්තු රඳවා තිබේ. මෙතෙක් පැවති තරග තුළ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කරගෙන ඇති ක‍්‍රීඩකයා ලෙස එම්. නිදර්ශන් උතුරේ ආක‍්‍රමණයේ පෙර ගමන්කරුවා වී ඇති අතර ඕනෑම අවස්ථාවක නිවැරදි රිද්මයට අනුවර්තනය විය හැකි ආරක්ෂක ක‍්‍රීඩකයෙකු ලෙස දකුණට ශක්තියක් වී ඇත්තේ රාසික් රිෂාඞ් ය. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම අවසන් තරගය පැවැත්වේ. ඒ අවස්ථාවට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් එහි ලේකම් උපාලි හේවගේ ඇතුළු විධායක කමිටුවේ සාමාජික මහත්වරුන් සියලූ දෙනාම එක් වෙති. ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් අනගි ක‍්‍රීඩා රටාවක නිරත වූ යෝගේන්ද්‍රන් ඩක්සන් පස්ලස් අනුස්මරණය කරමින් ඔහුට කෘතවේදීත්වය පළ කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවකින් ගෞරව දැක්වීමට ද මෙම තරගයට ප‍්‍රථම සංවිධානය කර ඇත

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment