ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා වතු කම්කරුවන්ට හමුවෙද්දී දවස් පහක් බඩගින්නේ ඉඳලා

166

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන්ව සිටි තරුණයා පෙරේදා (24 දා) පස්වරුවේ වතු කම්කරුවන් පිරිසක් විසින් දැක එම තරුණයාව නල්ලතන්නිය පොලිසිය වෙත භාරදී ඇති බව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිපුණ දෙහිගම මහතා පැවසීය.

ඉකුත් 19දා හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු නඩයක් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දිනේෂ හේමන්ත නමැති 33 හැවිරිදි තරුණයා ශ්‍රි පාද පද්මය වන්දනා කර ශ්‍රී පාද රත්නපුර මාර්ගයේ මඳ දුරක් ගොස් උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රීපාද උඩ මළුවේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතුයායේ රාජමලේ කොටසේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව ඇළ මාර්ගයක් අසල කිසියම් පුද්ගලයකු වැටී සිටින බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් නල්ලතන්නිය පොලිසිය වෙත කරන ලද දැනුම්දීමක් මත එහි ගිය නිලධාරීන් පෙරේදා (24 දා) තරුණයාව පොලිසිය වෙත රැගෙන විත් දින ගණනාවක් නිරාහාරව සිටි එම තරුණයාව මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. මාධ්‍යයට අදහස් දැක්වූ දිනේෂ් හේමන්ත තරුණයා පැවසුවේ, ශ්‍රී පාද උඩ මළුවේදී තමන්ට සිදුවූ දේ පිළිබඳව කිසිදු මතකයක් නොමැති බවයි. තමන්ට සිහි කල්පනාව පැමිණෙන විට තමන් ඇළ මාර්ගයක් අසල වැටී සිටි බවත්, පසුව එම ඇළ මාර්ගය දිගේ දින පහක් තිස්සේ පහළට සෙමින් බැස පැමිණි බවයි. රාත්‍රී කාලයේ තමන් එම රක්ෂිතයේ තිබූ ගල් ගුහා වල කාලය ගතකළ බවත්, එම දින කිහිපය තුළ තමන් ජලය පමණක් පානය කරමින් කුසගින්න නිවාගත් බවයි. තමන්ගේ පාදයේ සුළු තුවාල කිහිපයක් ඇති බවත්, වෙනත් බරපතළ තත්ත්වයේ කිසිදු ආබාධයක් නැති බවත් පැවසීය. මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු එම තරුණයාව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගැණින. අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස්, නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, ශ්‍රී පාද උඩ මළුවේ සහ නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් එක්ව ඉතා අවදානම් මෙහෙයුමක් පසුගිය දිනවල දියත් කර තිබුණි.

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා වතු කම්කරුවන්ට හමුවෙද්දී දවස් පහක් බඩගින්නේ ඉඳලා

නුවරඑළිය – නාලක රත්නායක, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා සහ මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment