පොලිස් චරිතවලට රඟපාන නළුවෙක් නිළියන් සමඟ කළ අලුත් රංගනයක්

1609

නවක ටෙලි නිළියන් කස්ටර්මලාට විකුණලා

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි කුමාර අවුරුදු හතළිහක් පමණ වයසැති පුද්ගලයෙකි. එකල සිට ස්ථිර රැකියාවක් නොමැති ඔහු ජීවත්වීම සඳහා විවිධ දෑ සිදු කළේය. ඒ අතර නීති විරෝධී ක‍්‍රියා ද විය. පසුගිය දිනවල ඔහු සිටියේ වැලේ වැල් නොමැතිවයි. එම නිසා අලූතින් යම් කිසි දෙයක් සිදු කළ යුතු යැයි ඔහු සති කීපයක් කල්පනා කළේය. අවසානයේ ඔහු හොර රහසේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට තීරණය කළේය.

පළමුව ඔහු හිතමිතුරන්ගේ උදව් උපකාර මත ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගත්තේය. ඒ මිනුවන්ගොඩ නිල්පනාගොඩ අලූතැපොල ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක දෙවන මහලයි. ඉන්පසු ඔහු තරුණියන් කිහිප දෙනකු දෙන්නා එහි ගණිකා නිවාසය පටන් ගත්තේය. සති කීපයක් යද්දී එම ගණිකා නිවාසයට සමාජයේ විවිධ පුද්ගලයෝ පැමිණියහ.

දිනක් ඔහුට මිතුරෙකු මෙලෙස පැවසුවේය.

‘‘මචං මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ.”

‘‘ඇයි එහෙම කියන්නේ.”

‘‘මගේ යාළුවෙක් ඉන්නවා කොළඹ. මිනිහත් මේ වගේ පෝට් එකක් තමයි කරන්නේ. හැබැයි උඹට වඩා හොද ගානක් හොයනවා.”

‘‘ඒ කොහොමද?.”

‘‘මිනිහගෙ තැනට නිළියෝ කීහිපදෙනෙක් එනවා.”

‘‘ඇත්තද?”

‘‘නිළියෝ කිව්වට ඒ අය ජනප‍්‍රිය අය නොවෙයි. පොඩි පොඩි චරිත වලට ඉන්න අය. ඒ වුණාට මිනිහා ප‍්‍රසිද්ධ කරන්නේ ජනප‍්‍රිය නිළියෝ එන

ගානට.”

‘‘ඔව් ඉතින් නිළියෝ කිව්වහම මිනිස්සු සල්ලි අත දිග ඇරලා වියදම් කරනවනේ.”

‘‘ඒක තමයි. මිනිහා හොඳ ගානක් හොයනවා එහෙම කරලා. උඹටත් තියෙන්නේ ඔය වගේ වැඩක් කරන්න. කොහොමහරි හොයාගනින් සුළු චරිත රඟපාපු දෙන්නෙක් තුන්දෙනෙක්.”

‘‘ඒක නම් නියම අදහස. හැබැයි මගේ යාළුවෙක් ඉන්නවා නළුවෙක්.”

‘‘මිනිහා එක පාරටම මේකට කැමති වෙයිද?”

‘‘අම්මෝ මිනිහට ගෑණුන්ගෙන් තොර ලෝකයක් නැහැ.”

‘‘එහෙනම් කල් නොදා අද හෙටම කතා කරන්න.”

‘‘ඔව් මම ඉක්මනටම මිනිහට කතා කරන්නම්.”

පොලිස් චරිතවලට රඟපාන නළුවෙක් නිළියන් සමඟ කළ අලුත් රංගනයක්

කුමාර කලක සිට අඳුරන නළුවෙකු සිටියේය. ඔහු නළුවෙක් යැයි පැවසුවාට රඟපාන්නේ නාට්‍යවල සුළු චරිත පමණි. විශේෂයෙන්ම ඔහු පොලිස් නිලධාරීන්ගේ චරිත වලට පෙනී සිටින අයෙකි. ඔහු එම රඟපෑම හරහා තරුණියන් රවටා අනියම් සම්බන්ධතා පවත්වා ලිංගික මෙන්ම තව තවත් වාසි ලබා ගන්නා අයෙකි. විශේෂයෙන්ම දුර බැහැර ගම් පළාත්වලින් මෙම ක්ෂේත‍්‍රයට පැමිණෙන අහිංසක තරුණියන් මොහුගේ ගොදුරු බවට පත්වේ. මෙම නළුවාව සමන් යන අන්වර්ථ නාමයෙන් අපි මෙතැන් සිට හඳුන්වන්නෙමු.

ඒ අනුව කුමාර අපි සමන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සුළු චරිත වලට පණ පොවන නළුවාට ඇමතුමක් ලබා දුන්නේය. එහිදී ඔවුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.”

‘‘කොහොමද? සමන් මේ දවස්වල.”

‘‘දන්නැද්ද පොඞ්ඩක් විතර බිසී. නාට්‍ය දෙක තුනකම ෂූටින් තියෙනවා. ඒක නිසා ලංකාව වටේටම යන්න වෙලා. ඊයෙත් නුවරඑළියේ ඉඳලා ආවෙ.”

‘‘එහෙම තමයි ජනප‍්‍රිය නළුවෝ වුණහම.”

‘‘ඒක තමයි. (මහත් ආඩම්බරයකින් යුතුව ඔහු පැවසුවේය.)

‘‘ඒක නෙවෙයි සමන් මම කතා කළේ අපි දෙන්නටම වාසි තියෙන වැඩකට.”

‘‘ඒ මොකද්ද කුමාර.”

‘‘මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.”

‘‘නියමයිනේ. හැබැයි අපිට ආරාධනාවත් කළේ නැහැ.”

‘‘ඒක ආරාධනා කර කර පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි.”

‘‘ආරාධනා කරන්න බැරි බිස්නස් එක මොකක්ද?.”

‘‘මම ගණිකා නිවාසයක් පටන් ගත්තා.”

‘‘ෂා මරුනේ. ආරාධනා කළා නම් මම එනවනේ ඕපන් කරන්න. දැන් කවද ද ඕක පටන් ගත්තේ.”

‘‘ටික දවසක් වෙනවා.”

‘‘කෙල්ලෝ ගොඩක් ඉන්නවද?.”

‘‘පොඩි කෙල්ලො තුන් හතර දෙනෙක් ඉන්නවා.”

‘‘එහෙනම් මම එනවා ළඟදිම දවසක..”

‘‘ ඕනම දවසක එන්න කිසි බාධාවක් නැහැ.”

‘‘හරි හරි දැන් මොකක්ද මගෙන් වෙන්න ඕන උදවුව.”

‘‘මගේ තැනට හොඳ සල්ලි කාරයො ටිකක් එනවා. මම බැලූවේ ඔයා අඳුරන නිළියෝ ඉන්නවනම් දෙන්නෙක් තුන්දෙනෙක් මෙතනට සෙට් කරගන්න. මම ඔයාටත් ගානක් තියාගෙන වැඬේ කරන්නම්.”

‘‘ඒකත් නියම අදහස. කොයි වගේ අයද ඕනා.”

‘‘ඔය ටෙලියක දෙකක රඟපාපු ලස්සන කෙල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් හොයල දෙන්න ඉතුරු හරිය මම බලා ගන්නම්.”

‘‘ ඕක සුළු දෙයක්නේ. ළඟදි ෆීල්ඞ් එකට බැස්ස තුන් හතර දෙනෙක්ම ඉන්නවා. මම කතා කරලා බලන්නම්.”

‘‘හරි සමන් වැඬේ කල් දාන්න එපා. මම ඔයාවත් බලාගන්නවා.”

‘‘හරි හරි අද හෙටම මම වැඬේ කරන්නම්.”

ආර්ථික දුෂ්කරතා මැද රඟපෑමට ඇති ආසාව නිසා දුර පළාත්වල සිට පැමිණ සුළු චරිතවල රඟපාන තරුණියන් කිහිපදෙනකු සමග සමන් මේ පිළිබඳව කතා බහ කළේය. ඒ අනුව එවැනි තරුණියන් කිහිපදෙනකු සමන්ගේ යෝජනාවට කැමති වූවාය. ඉන්පසු ඔහු ඒ පිළිබඳව තම මිතුරා වන සමන්ට පැවසුවේය.

කතා කරගත් පරිදි සමන් එම තරුණියන්ව කුමාරට හඳුන්වා දුන්නේය. එතැන් පටන් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන එම ගණිකා නිවාසයේ ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපාන එම නිළියන් මුදලට ශරීරය විකුණුවාය.

කුමාර එම තරුණියන්ව ජනප‍්‍රිය ටෙලි නිළියන් යැයි පවසමින් සල්ලාලයන්ට විශාල මුදලකට විකුණුවේය. එයින් ලැබෙන ආදායමෙන් කොටසක් පොලිස් චරිතවලට පණ පොවන නළුවාටද ලබා දුන්නේය. මුදල් ලැබීමත් සමග ඔහු තවත් එවැනි තරුණියන්ව කුමාරගේ ගණිකා නිවාසයට සොයා දුන්නේය.

මාස කිහිපයක් එලෙස ගත විය. මිනුවන්ගොඩ ප‍්‍රදේශය පුරාම ජනප‍්‍රිය නිළියන් පැමිණෙන ගණිකා නිවාසයක් ලෙස එය ජනප‍්‍රිය විය. එලෙස ජනප‍්‍රිය වීමත් සමඟ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තිකයන් සහ ප‍්‍රභූ යැයි පවසා ගන්නා පිරිස් ද එම ස්ථානයට පැමිණියේය. ඒ සමඟම පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ටද මේ පිළිබඳව දැනගන්නට ලැබුණි. ඒ අනුව එම නිලධාරීහු රහසේ පවත්වාගෙන යන මෙම ගණිකා නිවාසය පිළිබඳව සොයා බැලූහ. එහිදී නිලධාරීන්ට මෙම ගණිකා නිවාසය පිළිබඳ බොහෝ විස්තර සොයා ගැනීමට හැකිවිය. එ අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වලාන දූෂණ ප‍්‍රහාරක බළඇණිය මෙම වැටලීම සිදු කළහ.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන මොහොතේදී විදුලිය විසන්ධිව තිබූ අතර පොලිස් නිලධාරීන් හඳුනාගත් සැකකාර නළුවා අඳුර මැදින් පලාගොස් තිබිණි. විදුලිය කපා හරින්න මොහොතකට පෙර තවත් ටෙලි නිළියන් කිහිපදෙනකු එම ස්ථානයේ රැඳී සිට ඇති බවත්, විදුලිය නැති වේලාවන්හිදී ගැනුම්කරුවන් පැමිණීම අඩු බැවින් ඔවුන් ඊට පැයකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පසුව එම නිලධාරීන්ට අනාවරණය කරගැනීමට හැකි විය.

එලෙස වටලන මොහොතේදීත් සමහර ගැනුම්කරුවන් ඉටිපන්දම් දල්වාගෙන තරුණියන් සමඟ කාමරවල රැඳී සිට තිබේ. අවසානයේ කළමනාකරු සහ සුළු චරිතවලට පණ පෙවූ ටෙළි නිළියක් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකිවිය.

එම ගණිකා නිවාසයට තරුණියන් සැපයූ සුළු චරිතවලට පණපෙවූ නළුවා තවමත් සැඟවී සිටින අතර පොලිසිය පැවසුවේ හැකි ඉක්මනින් ඔහුවද අත්අඩංගුවට ගන්නා බවයි.

වර්තමාන සමාජයේ මෙවැනි ළාබාල තරුණියන් ටෙලි නාට්‍යවල රඟපෑමට ඇති ආශාව නිසා තම රූපලාවන්‍ය කටයුතු සහ ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීම සඳහා මුදල් නොමැති නිසා මෙවැනි ක‍්‍රියාවල අකැමැත්තෙන් වුවද නිරත වේ. එවැනි තරුණියන් මුදලට ගැනීම සඳහා විශාල ඉල්ලූමක්ද පවතින බව නොරහසකි. එම නිසා අප එවැනි තරුණියන්ට පවසනුයේ මෙවැනි නීති විරෝධී වැඩවල යෙදී නිස්කාරණයේ ජීවිතය නාස්ති නොකර ගන්නා ලෙසයි. එය තම නමට පමණක් නොව කලාවටද කැලලක් වනු ඇත.

ගයාන් සමරසිංහ.

advertistmentadvertistment
advertistmentadvertistment