එක්සත් ජනපදය සමග සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යනවා

124

කොළඹ එක්සත් ජනපද නව තානාපති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

අසීරූ අවස්ථාවලදී දැක්වූ සහාය අමතක කළ නොහැකියි

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල පසුගිය 28 වනදා නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මීට වසර 38කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නව ඇමෙරිකානු චාන්සලර් ගොඩනැගිල්ල විවෘත කරනු අයුරු මගේ මතකයට නැගෙනවා. ඇමරිකානුවන් වෙරළ තීරය මිලදී ගැනීමට පෙර එම කාර්යාලය පැවතියේ මගේ මී මිත්තණිය වන හෙලේනා විජයවර්ධන මහත්මියට අයත් ගොඩනැඟිල්ලකයි. එය ශ්‍රී ලංකාවේ ඇති එකම පෞද්ගලික වෙරළ තීරය වන අතර පෞද්ගලික වෙරළ තීරයක් හිමි එකම තානාපති කාර්යාලයද මෙය බව කියන්න කැමතියි. මෙම සමුද්‍රීය දර්ශනය ඔබගේ සතුටට හේතුවන බව මට විශ්වාසයි.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මීට වසර 74කට පෙර ආරම්භ වූ බව තානාපතිනිය සිය කතාවේදී සඳහන් කළා. අප ලබන වසරේ 75 වන නිදහස් සංවත්සරය සමරන විට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද 75 වසරක් සපිරෙනවා. එහෙත් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මීට වසර 200කට පමණ පෙර මිෂනාරිවරු යාපනයේ පාසල් විවෘත කිරීමට පැමිණියා. තවද ලංකාවේ මුලින්ම රෝහලක් පිහිටුවීම පිළිබඳව මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒම රෝහල යුධ සමයේ දී යාපනයේ සිටි පිරිසට මහඟු‍ සේවාවක් ඉටු කරනු ලැබුවා. එය ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයක් පමණක් නොවේ. කර්නල් ඕල්කොට්තුමා සිදු කළ සේවාව ගැන අපි සියලු‍ දෙනාම දන්නවා. ඔහු ආරම්භ කළ පාසල වන ආනන්ද විද්‍යාලයෙන් පැමිණි බොහෝ පුතුන් මෙතැන මෙන්ම ලෝකය පුරාම විසිර සිටිනවා.

එක්සත් ජනපදයේ දායකත්වය හිමි වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හෝ ආගම සඳහා පමණක්ම නොවේ. ඔවුන් වෙළඳාමේද යෙදී සිටියා. ඇත්ත වශයෙන්ම අපේ මිනිරන්, පොස්ෆෙට් වෙළඳාමේ එක් ප්‍රධාන ගැනුම්කරුවෙක් වූයේ එක්සත් ජනපදයයි. මේ සියල්ල ඉතිහාසයේ ලියවී තිබෙනවා.

අපගේ සබඳතාවය හුදෙක්ම වෙළඳාම, අධ්‍යාපනය, ආගම පමණක්ම නොව එය හමුදා කටයුතු සම්බන්ධවද අදාළ වෙනවා. ඒ වගේම යුද්ධයෙන් පසු අපගේ ආර්ථික සබඳතා මෙන්ම පළමු මුදල් නීතිය සකස් කිරීමට සහ මහ බැංකුව පිහිටුවීමට අපි ජෝ නික්සන්ගේ සහාය ලබා ගත් අතර එය විශිෂ්ට නීති සම්පාදන කෙටුම්පතක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම, 1951 වසරේ දී, එවකට රාජ්‍ය ලේකම්වරයාට අපේ නියෝජිතයන් මත විශ්වාසය තැබීමට සිදු වූ අතර, සමහර ආසියාතිකයන් පසුබා යද්දී, මුදල් අමාත්‍යවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ජපාන සාම ගිවිසුමට සහාය පළ කරමින් දේශනයක් සිදු කිරීමත් සමඟ මෙම දේශපාලන සන්ධානය ගොඩ නැඟු‍නා. එබැවින් සැලකිය යුතු කාලයන්හිදීද අප ඔබ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එබැවින් අවශ්‍යතාවේදී රැඳෙන මෙම සබඳතා සැබෑ මිත්‍ර සබඳතාවක්.

2001 වර්ෂයේ දී මම අගමැතිවරයාව සිටිය දී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් ලබා දුන් සහාය මෙහිදී නිසැකවම සඳහන් කළ යුතු යි. සාම සාකච්ඡා පැවැත්වීමට සහ එල්.ටී.ටී.ඊ සංවිධානය පාලනය කිරීමට සහ සුනාමි ව්‍යසනය හේතුවෙන් අප විපතට පත් වූ අවස්ථාවේදී ඔහු ලබා දුන් විශේෂ දායකත්වය මම මෙහිදී සිහිපත් කරනවා.

ඔහුගේ පියා වන ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ ජනාධිපති ක්ලින්ටන් අපට සහාය දැක්වීමට ශ්‍රී ලංකාවට පැමිණියා. එය දිගු කාලයක් පැවති මිත්‍රත්වයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතිසංස්කරණය කිරීමේදී සහ නීතියේ ආධිපත්‍ය මෙන්ම අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස තහවුරු කිරීමේ දී මා අගමැතිවරයා වශයෙන් සිටියදී එක්සත් ජනපදයේ සහය නැවතත් මා හට හිමි වුණා.

කෙසේ වුවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී අපට සහාය ලබා දීම සම්බන්ධයෙන් බයිඩ්න් ජනාධිපතිවරයාටද මම ස්තූතිය පළ කළ යුතුයි. අපි එය බෙහෙවින්ම අගය කරනවා, ඔබගේ සහාය නොමැතිව අපට සාර්ථක මහ කන්නයක් ලැබෙන්නේ නැහැ.

අද විවෘත කරන ගෙඩනැඟිල්ල අර්ථවත් කරන්නේ එක්තරා ආකාරයකින් අප සියල්ලන්ම එකට බැඳ තබන ගඩොල් සහ බදාමයෙන් සැදි මිනිස් සබඳතාවයි. ඒමෙන්ම මේ නව ගොඩනැගිල්ල එක්තරා ආකාරයකින් සබඳතා වර්ධනය විය යුතු නව යුගයක සංකේතයක්. අප දිගු කාලයක් එක්ව වැඩ කර තිබෙනවා. එකිනෙකාට ගරු කරමින් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා එකිනෙකාට සමීපව ක්‍රියා කළ යුතු බව මම විශ්වාස කරනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමග ගොඩනැඟිල්ල විවෘත කිරිමට එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment