යුද ගැටුම් මැද ජනපති බයිඩන් අද ඊශ්‍රායලයට

286

ගාසා තීරයේ හටගෙන ඇති යුද වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද (18දා) ඊශ්‍රායලයේ සංචාරයක යෙදීමට නියමිතය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඊශ්‍රායල සංචාරයේ අරමුණ වී ඇත්තේ ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ට එරෙහිව ඊශ්‍රායල හමුදා විසින් දියත් කිරීමට යන දැවැන්ත හමුදා ප්‍රහාරයේ සැලසුම් විමසීම බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකානු රජයේ ආරංචි මාර්ග පවසන්නේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන් මුලිනුපුටා දැම්මේ අරමුණින් දියත් කිරීමට සැරසෙන දැවැන්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති බයිඩන් සිය සංචාරයේදී ඊශ්‍රායල නායකයන් සමග සාකච්ජා කරනු ඇති බවයි. මෙම ප්‍රහාරය සිදු කළ යුත්තේ සිවිල් වැසියන්ට අවම හානියක් වන ලෙස බව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

මේ අතර පෙරේදා (16දා) රාත්‍රියේ ඊජිප්තුවට අයත් රෆා මංතීරුව ආසන්නයේ පිහිටි දකුණු ගාසා තීරයට ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් 49 දෙනකු මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල් හමුදාව කළ දැනුම්දීමකට අනුව උතුරු ගාසා තීරයේ සිට දකුණු ගාසා තීරය වෙත පැමිණි සිවිල් වැසියන් පිරිසකට මෙසේ වෙඩි තබා ඇති බව එම බලධාරීන් සඳහන් කර තිබේ.

පෙරේදා ලෙබනන් දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමට තැත් කළ සිවුදෙනකු ඊශ්‍රායල හමුදා විසින් වෙඩි තබා මරා දමා තිබේ. මෙසේ මරා දමන ලද්දේ ත්‍රස්තවාදීන් පිරිසක් බව ඊශ්‍රායල් හමුදා විසින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල් හමුදා විසින් දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් ඊශ්‍රායලයට එරෙහිව ඉදිරි පැය කිහිපයේ දැඩි පියවර ගන්නා බව ඉරානය නැවත නිවේදනය කර ඇති අතර දකුණු ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා අන්තවාදී සංවිධානය හරහා ඉරානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment