සංචාරය ගොඩදාන්න ටෙන්ඩර් මගඩි!

564
සංචාරය ගොඩදාන්න ටෙන්ඩර් මගඩි!

චෝදනා බරපතලයි – සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු

සංචාරය ගොඩදාන්න ටෙන්ඩර් මගඩි!

තවම පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ නිසා මේ වෙලාවේ පිළිතුරක් දෙන්න බැහැ
සංචාරක අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත්

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් 6ක් අමාත්‍යංශයට මාරු කරලා

සංචාරක පැමිණීම් වර්ධනය වෙයි

සංචාරය ගොඩදාන්න ටෙන්ඩර් මගඩි!

රුපියල් මිලියන ගණනක ටෙන්ඩරයකට අදාළව ව්‍යාජ ලේඛනයක් සකස් කළැයි යන චෝදනාව මත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් 6කට මේ වන විට බරපතල චෝදනා එල්ල වී ඇත. මේ බව මුලින්ම නිරීක්ෂණය වී ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතාට බව අපට දැනගන්නට තිබේ. ඒ අනුව ඒ බව සංචාරක අමාත්‍යාංශය දැනුම්වත් වීමෙන් පසු මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා එම නිලධාරීන් හය දෙනා සංචාරක අමාත්‍යාංශයට මාරු කිරීමට පියවර ගෙන ඇත. අපට දැනගන්නට ඇති පරිදි මෙසේ මාරු කිරීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පද්මා සිරිවර්ධන, අධ්‍යක්ෂ මහජන සබඳතා මධුභානි පෙරේරා, සහකාර අධ්‍යක්ෂ ප්‍රසම්පාදන රසිකා සඳමාලි ඇතුළු නිලධාරීන් හය දෙනෙකි. ඔවුන්ට එරෙහිව පවත්වන ලද මූලික විමර්ශනයකින් හෙළි වූ කරුණු මත සංචාරක අමාත්‍යාංශය විසින් ඔවුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් වශයෙන් මේ මාරුව සිදුකර තිබෙන බව අපට දැනගන්නට ඇති දෙයයි. තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. ඒ නිසා අදාළ පරීක්ෂණ නිමවන තුරු මේ කිසිවෙක් තවමත් වරදක් කර ඇති බව අපට කීමට හැකියාවක් නැත.

තවමත් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබුණත් මෙවැනි සිදුවීමක් සිදුව ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම් බුවනෙක හේරත් මහතා ඉකුත් අගෝස්තු 10 වැනිදා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය. එම මාධ්‍ය හමුවේ දී මේ ගැන මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇමැතිවරයා ඒ සඳහා පිළිතුරු දෙමින් සඳහන් කළේ තමා මෙවැනි කටයුතු සඳහා සම්බන්ධ නොවන බවත් ඒ නිසා අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වශයෙන් මෙය අමාත්‍යාංශ ලේකම්වරයාට භාර කටයුත්තක් බවයි. ඒ නිසා ඒ ගැන පිළිතුරු දීමට සුදුසු පුද්ගලයා වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා බව ද ඔහු කීවේය. කෙසේ වෙතත් චෝදනා ඉතා බරපතල බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් තිබෙන බවත් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මේ පරීක්ෂණ කටයුත්ත අමාත්‍යාංශය මගින් සිදුවෙන බව ද ඔහු කියා සිටියේය. මෙසේ ඇමැතිවරයාගේ යොමු කිරීම මත එම අමාත්‍යාංශයේ ලේකම් බුවනෙක හේරත් මහතා සඳහන් කළේ මේ සිදුවීම ගැන පරීක්ෂණය සිදුවෙමින් තිබෙන බවත් ඒ නිසා එම ප්‍රශ්නයට පිළිතුරු දීමට අපහසු බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෙටි සටහනක් මේ ප්‍රශ්නය යොමු කළ මාධ්‍යවේදියාට ලබාදෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. එහෙත් එවැන්නක් එම මාධ්‍ය හමුව අවසානයේ දී මාධ්‍ය වෙත ලැබුණේ නැත.
මෙවැනි බරපතල චෝදනා එල්ල වූ විට වැඩ තහනම් කරනව ද එහෙම නැත්නම් අමාත්‍යාංශයට මේ නිලධාරීන් මාරු කර තියා ගන්නව ද යන ප්‍රශ්නය මෙහිදී මතුවෙන බව ද මාධ්‍ය පෙන්වා දුන් විට ඒ සඳහා පිළිතුරු වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ඒ සඳහා ද පිළිතුරු දීම ද මේ වෙලාවේ සුදුසු නොවන බවයි. අප දන්නා පරිදි නම් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන සිදු වීම් ගැන පවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට නිල වශයෙන් එතෙක් පරීක්ෂණවල ප්‍රගතිය ගැන සඳහන් කරනු ලබයි. එසේම මේ සම්බන්ධයෙන් තවමත් උසාවියේ නඩු කටයුත්තක් නැත. ඒ නිසා මේ ගැන පිළිතුරක් ලබා දිය නොහැකි බවට සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා කරන ප්‍රකාශය අපට පිළිගැනීමට පුළුවන්කමක් නැත. මේවා මහජන මුදල් සම්බන්ධ දේවල් නිසාත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යනු පුද්ගලික මුදල් මත යැපෙන පුද්ගලික සමාගමක් නොවන නිසාත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යම් ප්‍රශ්නයක් ඇසූ විට ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධා නොවන පරිදි යම් පිළිතුරක් ලබා දීමට අමාත්‍යාංශ ලේකම්වරයාට බැරිකමක් නැත. එහෙත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන්නේ යයි කියමින් ඒ සඳහා පිළිතුරු ලබා දීමට අපහසු බව කීම අපට පිළිගත හැකි කරුණක් නොවන බව කිව යුතුය. මේ තුළ මේ පරීක්ෂණ කටයුතුවල විනිවිදභාවය ගැන ද රටේ මහජනතාව තුළ යම් සැක සංකා ඇති වීමට ඉඩ තිබේ.

මේ පරීක්ෂණ කටයුත්ත සඳහා කොපමණ කාලයක් ගතවනු ඇති ද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ එය සිදුවෙන පරීක්ෂණය මත පදනම් වන බවයි. මෙම චෝදනා ඉතා බරපතල බැවින් මේ ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා ඇතැම් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුවීමට සිදුවෙනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එහෙත් ඇමැතිවරයා වශයෙන් තමා මෙවැනි කටයුතු සඳහා මැදිහත් නොවන බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ ගැන එම මාධ්‍ය හමුවේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ද අදහස් දැක්වීය. ඔහු කීවේ අදාළ නිලධාරීන් විසින් යම් ලේඛන ඉදිරිපත් කර තිබුණු බවත් එය නියමිත වේලාවට හඳුනාගෙන පියවර ගැනීමට හැකි වූ බවයි. ඒ සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබූ බව සඳහන් කළ ඔහු කියා සිටියේ මෙහිදී අදාළ ටෙන්ඩරය ලබා නොදුන් බවත් එම අක්‍රමිකතාව සිදුවීම වැළැක්වීමට හැකි වූ බවත්ය. එය නියමිත වේලාවට හඳුනාගෙන පියවර ගන්නා ලදි. එය නිවැරදි වෙලාවේ දී සිදුවීම නවත්වන ලද බව ද කියා සිටි ඔහු සඳහන් කළේ එය සිදු වූයේ නම් එය ඊට වඩා අයහපත් වනු ඇති බවයි.

මේ අනුව අපට පැහැදිලි වන්නේ කිසියම් ටෙන්ඩර් මගඩියක් සිදුවීම වළක්වා ගැනීමට හැකිව තිබෙන බවකි. ඒ ගැන අපට සතුටු විය හැකිය. එහෙත් සිදු කිරීමට ගිය අක්‍රමිකතාව ඉතාම බරපතල දෙයක් නම් ඒ සඳහා උත්සහ කළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිසි විනය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සමගම ඇතිවෙන තවත් ප්‍රශ්නයක් ද තිබේ. එනම් මේ නිලධාරීන් සුළුපටු නිලධාරීන් නොවේ. ඔවුන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඉහළම නිලධාරීන්ය. ඔවුන් මීට පෙර ද මෙවැනි ටෙන්ඩර් මගඩි සිදුකර තිබේ ද යන ප්‍රශ්නය ද මේ සමගම මතු වේ. ඒ නිසා ඒ ගැන සොයා බැලීම සුදුසු බව අපගේ අදහසයි.

මේ කියන ලංසු ලේඛන විකෘති කිරීම සිදුකළ බවට වන සිදුවීම ගැන සංචාරක කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ ද අවධානය යොමුව ඇත. ඔවුන්ගේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරංචිමාර්ගවලින් අපට දැනගන්නට ඇත්තේ ජාත්‍යන්තර ටෙන්ඩරයකදී චූදිත නිලධාරීන් හිතාමතාම ව්‍යාජ ලංසු ලේඛන සකස් කර ටෙන්ඩර් ඉදිරිපත් කළ එක් සමාගමකට වාසිදායක වන ලෙස ලියකියවිලි ආදේශ කර ඇති බවටයි. එහෙත් මේ සිදුවීම ගැන අමාත්‍යාංශ ලේකම්වරයා නිසි පිළිතුරක් මාධ්‍යයට නොදෙන නිසා හරියටම සිදුව ඇත්තේ කුමක් ද යන්න සහ නිශ්චිත චෝදනා මොනවා ද යන්න අප දන්නේ නැත.

සංචාරය ගොඩදාන්න ටෙන්ඩර් මගඩි!

ඉහත සඳහන් කළ ප්‍රධාන නිලධාරීන් තිදෙනාට අමතරව ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂවරයා, ටෙන්ඩරය හසුරුවන සහකාර අධ්‍යක්ෂවරයා සහ ටෙන්ඩර් ගොනුවට වගකිව යුතු නිලධාරියා ඇතුළු තිදෙනකුට ද යම් විනය පියවර ගෙන ඇති බවට සංචාරක අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයේ ඇතැම් පාර්ශ්වකරුවන් පවසන්නේ මෙම ක්‍රියාව රජයේ රෙගුලාසිවලට අනුව බලවත් වරදක් වන අතර නීතියට අනුව, සාක්ෂි ඔප්පු කිරීම මත වහාම වැඩ තහනම් කිරීම සහ චූදිතයන්ට එරෙහිව නඩු පැවරීම සිදු කළ යුතු බවයි. කෙසේ වෙතත් සංචාරක අමාත්‍යාංශය විසින් ඔවුන් තාවකාලිකව තම අමාත්‍යාංශ පරිශ්‍රයට මාරුකර යවා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පමණක් පවසා ඇති බව ද ඔවුහු කියා සිටිති. මේ අනුව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය අනුගමනය කර ඇති මෙම ලිහිල් ප්‍රතිපත්තිය පිළිබඳව සංචාරත ක්ෂේත්‍රය ප්‍රශ්න කරන අතර දිගු කලක් තිස්සේ බලාපොරොත්තු තබා තිබූ සංචාරක ප්‍රවර්ධන වැඩසටනකට අහිතකර බලපෑමක් සිදුකළ මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු කිසියම් සැහැල්ලු පිළිවෙතක් අනුගමනය කරන බවට ද ඔවුහු චෝදනා කරති. එසේම අනිත් අතට මෙම නිලධාරීන් මෙහිදී කිසිදු වරදක් සිදුකර නැති බවත් ඉතා සද්භාවයෙන් අදාළ ටෙන්ඩරය ලබා ගැනීම සඳහා කිසියම් ලේඛනයක් ඉදිරිපත් කිරීම පමණක් සිදු කර ඇති බවටත් අපට ආරංචි තිබේ. ඒ නිසා මේ ලිපිය කියවන පාඨකයන්ට කිව යුතු වන්නේ මේ කියන චෝදනා සත්‍ය ද නැද්ද යන්න ගැන පරීක්ෂණය නිම වී යම් නිගමනයක් ප්‍රකාශයට පත්වන තෙක් කීමට අපහසු බවයි. ඒ නිසා ඒ සියලු නිලධාරීන්ට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඇතිව සැලකිය යුතු බව ද අපි සිතමු. කෙසේ හෝ අවශ්‍ය කරන්නේ මේ සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය සොයා ගැනීමයි. මෙම සිදුවීම නිසා මෙම වසර තුළදී ඉලක්කගත කර ක්‍රියාත්මක වීමට තිබූ ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඒ ආකාරයෙන්ම සිදුවෙන බවට ද සංචාරක බලධාරීහු සඳහන් කරති.

අප මේ සිටින්නේ රට බංකොලොත් වීමෙන් පසු ඉන් ගොඩ ඒම සඳහා ප්‍රයත්න දරමිණි. දිගින් දිගටම රාජ්‍ය ආයතනවල දූෂිත ක්‍රියා සිදුවීමට ඉඩ නොදීම ද අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා මෙවැනි පරීක්ෂණ කටයුතු සිදු කිරීම වැදගත් වේ. එසේම රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය බරින් ගලවා ගැනීමට ප්‍රමුඛ ලෙස දායක විය හැකි අංශයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. අප සිතන්නේ අනිවාර්යයෙන්ම සංචාරක කර්මාන්තය අංක එකේ විදේශ විනිමය උපයන අංශය බවට පත් කර ගැනීමට හොඳටම විභවතාව අපට ඇති බවයි. ඒ සඳහා නිසි සැලසුම් සහ උපායමාර්ග සංචාරක කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය වේ. මේ කර්මාන්තය දියුණු කිරීමට ඇති විභවතාවයෙන් අප නිසි ප්‍රයෝජන ගන්නේ නම් රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට මෙම සංචාරක කර්මාන්තය පමණක් වුව ද ප්‍රමාණවත් වනු ඇත. ලංකා ඉතිහාසයේ දරුණුතම විනිමය සහ ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් එම අර්බුදය සමනය කර ගැනීමට පියවර ගනිමින් සිටින මේ මොහොතේ අප විසින් අයිඑම්එෆ් පදයට පමණක් නැටීම ප්‍රමාණවත් වන්නේ නැත. ආර්ථිකය දියුණු කර ගැනීමට සහ විශේෂයෙන්ම විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීමට අපටම වන සාර්ථක සැලසුම් නැත්නම් අපට මේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමේ ගමන වඩා දුෂ්කර එකක් වනු ඇත. මේ පසුබිම තුළ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමට වේගවත් සහ තිරසාර ප්‍රතිපත්ති සහ උපායමාර්ග අවශ්‍ය වනු ඇති බව අප කියා සිටිමු.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනිත වූ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු භාණ්ඩ හිඟ තත්ත්වයන් මෙන්ම අරගල ක්‍රියාමාර්ග හමුවේ අපගේ සංචාරක කර්මාන්තයට සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති බව රහසක් නොවේ. කෙසේ හෝ මේ වන විට අපගේ ආර්ථික අර්බුදය කිසියම් දුරකට සමනය කර ගැනීමට අප සමත්ව ඇත. උද්ධමනය අඩු වී ඇත. පොලී අනුපාත පහත වැටෙමින් තිබේ. මේ තුළ පුද්ගලික අංශයේ ණය ඉල්ලුම වර්ධනය වනු ඇත. මේ හරහා රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පණ ගැන්වෙනු ඇත. ඒ සමග දැනට ඇති ඍණ ආර්ථික තත්ත්වය මේ වසරේ (2023) අවසන් කාර්තුවේ සිට ධන තත්ත්වයකට පරිවර්තනය වනු ඇති බව සිතිය හැකිය.

මේ ගොඩ නැගී ඇති පරිසරය පසුබෑමට ලක් වූ සංචාරක කර්මාන්තයට ද යහපත් ලෙස බලපානු ඇත. මේ වන විට අපගේ සංචාරක පැමිණීම් වර්ධනය වෙමින් තිබේ. මේ වසරේ (2023) මුල සිට ඉකුත් අගෝස්තු 06 දින දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ප්‍රමාණය 798216කි. ගිය වසර (2022) ගත් විට මුළු වර්ෂය පුරාම පැමිණි මුළු විදේශ සංචාරකයන් ප්‍රමාණය 719978 ක් පමණකි. ගිය වසරේ (2022) මාර්තු මාසයේ හැර අනෙකුත් සියලුම මාසවල වාර්තා වී ඇත්තේ ලක්ෂයකට වඩා අඩු සංචාරක පැමිණීමකි. එහෙත් මේ වර්ෂය (2023) ගත් විට ගෙවී ගිය කාලයේ දී මැයි මාසයේ හැර අනිත් සෑම මාසයකදීම සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එසේම ගිය වසරේ (2022) අදාළ මාසවලට සාපේක්ෂව මේ වසරේ (2023) අදාළ මාසවල සැලකිය යුතු සංචාරක පැමිණීම්වල වර්ධනයක් ද සිදුව ඇත. ඉකුත් ජුලි මස පැමිණ ඇති විදේශ සංචාරකයන් ප්‍රමාණය 143039 කි. එය ගිය වසරේ (2022) ජුලි මස පැමිණ ඇති විදේශ සංචාරකයන් ප්‍රමාණය වන 47293ට සාපේක්ෂව සියයට 202.4 ක වර්ධනයකි. මේ සමගම සංචාරක ඉපයුම් ද වර්ධනය වනු ඇත. ඒ අනුව මේ වසරේ (2023) ජනවාරි සිට ජුලි දක්වා මාස හතක කාලයේ දී අප උපයා ඇති මුළු සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1093.98 කි. අපගේ විභවතාවට සාපේක්ෂව මේ සංචාරක පැමිණීම් හෝ සංචාරක ඉපයුම කිසිසේත්ම ප්‍රමාණවත් නැත. මේ නිසා අපට සංචාරක ප්‍රවර්ධනය පැත්තෙන් ඉතා දුර ගමනක් යෑමට තිබෙන බව අපි සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දුට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment