රස වෙනුවෙන් වස කනවා රුව වෙනුවෙන් විස උලනවා…

138

ශරීරයට අධික ලෙස විෂ සහිත “අවජාතක ගණයේ” ආලේපන වර්ග අප රටට වැඩිපුරම ආනයනය කරනුයේ පාකිස්තානයෙන්…?

උපතින්ම ‘සුදු සමක්’ සහිත යුරෝපීය කතුන් ‘ලෝකඩ පැහැ’ (Bronze skin) සමක් ඇති කර ගැනීමට උනන්දුවෙයි.

සුදු සම සුන්දරයි….. යුරෝ කේන්ද්‍රීය මිථ්‍යාවක්

විශ්‍රාම ගැනීමට ආසන්න වියේ පසුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයකු ගේ ඉල්ලීම මත මම ඒ නගරයේ ෆාමසියකට ගොස් එහි අලෙවියට තබා ඇති සම සුදුවීම පිණිස භාවිතා කරන ක්‍රීම් වර්ගයක් මිලට ගන්නා නියාවෙන් ඒවා කිහිපයක් පරීක්ෂාවට ලක් කළෙමි. එහෙත්, මගේ පරීක්ෂාවට ලක් වූ ක්‍රීම් වර්ග වලින් කිහිපයකම ඒවා නිෂ්පාදිත රටක්, නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, ඒවායේ අඩංගු රසායනික සංයුතිය. මාත්‍රාව තබා අඩුම තරමින් කල් ඉකුත් වන දිනයක්වත් සඳහන් ව නොතිබුණි. නමුදු එය දැකීමෙන් මට හීන් දහඩිය දැමූ මුත් ඒ බවක් නොඇඟවූ මම “මේවා හොඳට විකිණෙනවාද?” යනුවෙන් එහි සේවිකාවගෙන් ඇසීමි. එවිට ඇය ගත් කටටම දුන් පිළිතුර වූයේ “ඕවායින් ඉක්මනටම සුදු වෙන හින්දා ඕවා තමයි දැන් වැඩිපුරම යන්නේ” යන්න ය. ඇගේ එම ප්‍රකාශය අනුව ඖෂධ පසෙක තිබිය දී අලෙවි භාණ්ඩයක් ලෙස හෝ එවැන්නක් අතක් දිගු කොට පාරිභෝගිකයකු අතට පත් කිරීමට වෘත්තීය සුදුසුකම් සහිත ලියාපදිංචි ඖෂධවේදියකුට හෝ ඖෂධවේදිනියකට කෙසේ නම් හැකිවේද? යන විමතිය මගේ සිතට තදින්ම කා වැදුණි.

“ඕවා කොහෙන් කවුරු කොහොම ගේනවද?” කියලා කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් ඕවා විකුණන අයට එකකට එකක් කොමිස් ලැබෙනවා කියන එක නම් පැහැදිලියි; අනික මේ වගේ සැර අව්ව වගේම ගොවි බිම් වැඩිපුර තියන පළාත්වල ඕවා පුදුම විදිහට විකිණෙනවා; ඒ වගේම මේ බිස්නස් එක දවසින් දවසම වැඩිවෙනවා” කී ඒ වෛද්‍යවරයා ඒ සමඟම කීයේ “දැන් මිනිස්සු රස වැඩි කරගන්න වස විස කනවා වගේම හුඟක් ගෑනු අය සුදු වෙන්න කියලා වස විස මූණෙත් උලා ගන්නවානේ” යනුවෙනි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් සීමාවාසික වෛද්‍ය පත්වීම ලත් 1990 වසරට සාපේක්ෂව මෙම සමාජ ඛේදවාචකය මේ වන විට සිය ගුණයකින් ඉහළ නැංවී ඇති බවකි.“මූණේ හම එක එක විදිහට විරූප කර ගත්තු ගෑණු අය අපි ළඟටත් එනවා. ඒත්, ඒ අය තමන් ඔය වගේ වසක් මූණෙ අතුල්ලා ගත්තා කියන කතාව හංගනවා. ඒත් දැන් අපිට පාරක දි තොටකදී වුණත් ඒ වගේ මූණක් දැක්ක හැටියෙම කියන්න පුළුවන්” යැයි ද ඔහු කීය.

ඉහත සඳහන් අන්දමේ කිසිදු නිෂ්පාදන ප්‍රමිතියක් නොමැති ශරීරයට අධික ලෙස විෂ සහිත “අවජාතක ගණයේ” ආලේපන වර්ග අප රටට වැඩිපුරම ආනයනය කරනුයේ පාකිස්තානයෙන් බව කියනු ලැබේ. හොර සල්ලි මුද්‍රණය කරන්නාක් මෙන් නිපදවෙන ඒවායේ නියමිත ප්‍රමිතිය ඉක්මවා රසදිය අඩංගු බව ද ප්‍රසිද්ධ රහසකි. මෙවන් ආලේපන සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ප්‍රමිති ආයතන මගින් අනුමත රසදිය ප්‍රමාණය වන කිලෝග්‍රෑමයකට රසදිය මිලිග්‍රෑමයේ සංයුතිය ඉක්මවා කිලෝගෑමයකට මිලිග්‍රෑම් 30000 යන අධි මාත්‍රාවලින් රසදිය අඩංගු බව ආලේපන මෙහි ඇති බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. එක් ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාමයකින් වෙළෙඳ පොළෙහි ඇති සම පැහැපත් කිරීමට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදනයක මෙම රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයකට රසදිය මිලිග්‍රෑම් 9870 ක් අඩංගු බව සොයාගෙන ඇති අතර එම නිෂ්පාදනය යුරෝපා සංගමය මඟින්ම 2013 වර්ෂයේ සිට යුරෝපා වෙළෙඳපොළ තුළ තහනම් ලැබූ බවට වාර්තා පළ විය. “මේ වගේ රස දිය වගේම වෙනත් අහිතකර රසායනික වර්ග මූණේ තවරා ගත්තම සමේ මතුපිට ස්වාභාවික වර්ණය ඉවත් වෙනවා. එතකොට ඒ කාන්තාවගේ මූණේ පාට වෙනස් වෙලා පේනවා. එතකොට ඒක දකින ඒ කාන්තාවගේ යෙහෙළියෝ ඒක අහනකොට ඒකේ නමයි ගත්තු තැනයි ගාණයි කියනවා. එතකොට අනික් කාන්තාවො මොකද කරන්නේ? සේරම වැඩ තියෙන්නේ පවුලේ වියදමට තියන් සල්ලි හරි අරගෙන ඒ කියපු තැනට ගිහින් ඒ වස භාජනයක් ගෙනත් මූණේ උලා ගන්නවා. ඇත්තෙන්ම මේක දැන් කවුරුත් කතා නොකරන ජාතික ඛේදවාචකයක්” එම වෛද්‍යවරයා කීය.

එමෙන්ම රසදිය අන්තර්ගත රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය නිසා හටගෙන ඇති මාරාන්තික රෝගී තත්ත්වයන් ද ඉහළ ගොස් ඇතත් ඒ බොහොමයකට හේතු එම බිහිසුණු ක්‍රියාව බව සනාථ කර ගත නොහැකි වී තිබේ. මොළයේ මධ්‍යක ස්නායු පද්ධතියට සිදුවන හානි නිසා ඇතිවන මානසික ව්‍යාකූලතා හා මතක ශක්තිය බිඳ වැටීම, මධ්‍යයේ ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා නිසා සිදුවන අතපය, මුඛය අවට ප්‍රදේශවල සිදුවන ස්නායු ආබාධ ශ්‍රව්‍ය හා කථන දුබලතා වකුගඩු අකර්මණ්‍යතා ගර්භනී සමයේදී කලලයට හානි ගබ්සා වීම් සහ මළ දරු සහ විකෘති දරු උපත් ඇති වීමේ වැඩි සම්භාවිතාව ඒ අතුරින් විද්‍යාත්මකව තහවුරු වී ඇති එහි අනිටු ප්‍රතිඵල අතුරින් කිහිපයක් පමණි. නමුත් සුවඳ විලවුන් සහ ආලේපන පිළිබඳ නීති පද්ධතින් බිඳ වැටීම නිසා මේවා ආනයනට සහ අලෙවියට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග නොමැති වීම මත අද වන විට ඊටත් වඩා බරපතළ වස විස සහිත සුදු වීමේ ආලේපන ටොන් ගණන් විවිධ ක්‍රම මගින් නිතිපතා මෙරටට ගෙන්වනු ලැබේ. ඒ අනුව එය මත්ද්‍රව්‍ය වලින් සිදුවන සමාජ ව්‍යසනයට වඩා අඩු බවක් මට නම් නොහැඟේ. මේ අතර මෙම ආලේපන භාවිතයට අමතර සුදු වීම සඳහා වන බෙහෙත් පෙති, එන්නත් සහ ලේසර් ක්‍රම ද අද කෙමෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. ඒවා මිනිස් ශරීර ව්‍යුහයට වඩාත් සෘජු බලපෑම් කරන බැවින් මෙම ආලේපන භාවිතයටත් වඩා සිය ගුණයකින් විපත්තිකර බව කිව යුතුම ය.

නමුත් වත්මන් සමාජයේ බොහෝ කතුන් තුළ (ඇතැම් පිරිමි තුළ පවා) පවතින මෙම සුදු වීමේ උන්මාදය පිළිබඳ විධිමත් සමාජමය විමසුමක් මේ දක්වා සිදුව නැත.

නිවර්තන කලාපීය දේශගුණයක් සහිත දුරාතීතයේ අප රට ඇතුළු ඉන්දියානු උප මහද්වීපයේ දුරාතීතයේ ජීවත් වූයේ කළු, දුඹුරු මිශ්‍රිත සමක් සහිත මිනිසුන් ය. ඉන්පසුව ඉතිහාසයේ ආදිතම කාලයක මධ්‍යතන ආසියාවේ ටෙක්සාස් තණ බිම් ආශ්‍රිතව ජීවත් වූ සුදු පැහැති සම සහිත ජන කොටසක් දේශගුණික විපර්යාස ආදී හේතුන් මත ඉන්දියානු උප මහද්වීපයටත්, යුරෝපයටත්, මැදපෙරදිගටත් සංක්‍රමණය වූහ. ‘ආර්යය’ යනුවෙන් පසුව ඉන්දියාවේ දී හැඳින්වෙන ලද්දේ මෙම සුදු පැහැති ජන කොටස ය. එහි දී එවක ඉන්දියානු උප මහද්වීපයේ සිටි ස්වදේශිකයන් හෙවත් කළු සම සහිත වූවන් ගේ සමාජ තලය තලා පෙළා දමන්නට මෙම ‘ආර්යයෝ’ දැඩි වෙහෙසක් දැරූහ.

‘සුදු’ හෙවත් ‘ශුක්ල’ උසස් ලෙසත්, ‘කළු’ හෙවත් ‘කෘෂ්ණ’ පහත් ලෙසත් සැලකූ ඔවුහු එමඟින් කළු සම සහිත ජනතාව ක්‍ෂුද්‍ර හෙවත් දාසයන් සේ සලකන්නට වූහ. එමෙන්ම අනාදිමත් කාලයක අප රටේ ජීවත් වූ රාවණා, විභීෂණ ආදී දෙවිවරුන් ද ඒකාන්ත වශයෙන්ම කළු පැහැයෙන් යුතු වූ අතර ආර්යයන්ගේ පුරාණෝක්ති වල එන ‘සුර අසුර යුද්ධය’ මෙම ‘සුදු කළු’ මිනිසුන් අතර ඇති වූ සමාජ අරගල සංකේතනය කරන්නකි. එහිදී රාම රාවණා යුද්ධයේ දී රාවණ සහ විභීෂණ යන රජවරු රාක්ෂ ලෙස නම් කොට ඇත්තේ ඔවුන්ගේ සමේ පැහැය ද පදනම් කර ගනිමිනි. නමුත් එක්තරා අන්දමකින් ආර්යයෝ ඉන්දීය උප මහද්දීප මිනිසුන්ට බියක් දැක් වූ බව ද පෙනෙයි. පසුකාලීනව හින්දු ආර්යයන් විසින් ප්‍රමුඛතම තලයෙහි ලා අදහන්නට වූ විෂ්ණු සහ ඔහු ගේ අවතාරයක් වන ක්‍රිෂ්ණ කළු පැහැයෙන් යුතු වන අතර ශිව හෙවත් ඊශ්වර ද කළු පැහැයෙන් යුත් දෙවියෙකි. සුදු සම සහිත ආර්යයන් මෙම දෙවිවරුන්ට බිය වන්නටත් ඔවුන් අදහන්නටත් ඔවුන්ගේ කාල වර්ණය ද ඉවහල් වන්නට ඇත.

එමෙන්ම දුරාතීතයේ දී ශ්‍රී ලංකාව ‘තම්බපණ්නී’ නම් ‘යකින්නන් ගේ දේශයක්’ ලෙස ආර්යයන්ගේ ලේඛනවල සඳහන් වෙයි. පන්සිය පනස් ජාතක පොතේ ද ‘වලාහස්ස හෙවත් වලාහක’ ජාතකය ඊට කදිම නිදසුනකි. එහි පැවසෙනුයේ අතීතයේ මෙහි වාසය කොට ඇත්තේ ‘මිනී කන යකින්නක්’ බවය. ‘මිනී කන යකින්නක්’ නම් අනිවාර්යයෙන් කළු පැහැ විය යුතු වුවත් ‘මිනී කන යකින්නන්’යන සත්ව කොටසක් මේ මිහි පිට සිටිය නොහැකි බවත් අපට බැලූ බැල්මට වුව වැටහෙනු ඇත. දුරාතීතයේ අප රටෙහි ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන්ද ඒකාන්ත වශයෙන් ‘කළු පැහැ’ සමින් යුතු වන්නට ඇති අතර ඔවුන් අතර රුවැති කාන්තාවන් සේම අභිරූපිකාවන්ද සිටි බව පිළිගැනීමට අපට සිදුවේ.

ලක් ඉතිහාසයේ මුල්ම රජ බිසව විය යුතු ‘කුවේණිය’ ද එවැනි කළු අභිරූපිකාවක බවට සැක නැත. එහෙත් පාලි වංශකතා වල දී ඇය හඳුන්වා ඇත්තේ ‘කුවණ්ණා’ යනුවෙනි.‘කු + වණ්ණා’ යන්නෙහි අරුත අයහපත් වර්ණයක් ඇත්තිය යන්න ය. මෙහි ආර්යවාදී ලේඛකයන් ‘අයහපත් වර්ණය’ ලෙස දකින ලද්දේ කළු පැහැය බව ඒකාන්ත සත්‍යයකි.

ආර්යයන්ගේ ප්‍රමුඛතම දෙවියකු වන ‘ශිව’ හැඳින්වෙනුයේ ද ‘මහා කාල’ යනුවෙනි. එහි සිංහල අරුත ‘මහ කළු’ යන්නය. ‘කාලි’ යන්න ‘කාල’ යන්නෙහි ස්ත්‍රී වාචිකයයි. එහි වචනාර්ථය වනුයේ ද ‘කළු තැනැත්තිය’ මිස අන් කිසිවක් නොවේ.

මෑතක සිට අප සමාජයේ ඉන්දීය සම්භවයක් සහිත ආර්ය සිංහල මතවාදය අභිබවා ඊට පූර්වගාමී දේශීය ශිෂ්ටාචාරයක් සම්බන්ධ විවෘත සමාජ කතාවක් හටගෙන තිබේ. නූතන රාවණාවාදය ලෙස හැඳින්විය හැකි එම මතවාදීන් විසින් මහත් අගැයුමට ලක් කරන ‘යක්ඛ’ නම් වන අපගේ ආදිතම මානව වර්ගයා ඒකාන්ත වශයෙන්ම කාලවර්ණ විය යුතු ය. නමුදු වර්තමාන කතුන් ගේ මෙම සුදු වීමේ උන්මාදය කෙරෙන වර්තමාන හෙළ යක්ඛ ආදී වශයෙන් වන නූතන රාවණාවාදීන් ගේ කිසිදු විරෝධතාවක් ආරෝවක් පැන නැගී ඇති බවක් ද පෙනෙන්නට නැත. ඒ අනුව තම සැබෑ උරුමයට එරෙහි කාන්තාවන් සුදු කරවීමේ නාමයෙන් සිදු කෙරෙන මෙම ජාතික ආපදාවට එරෙහිව ඔවුන් අන් සියල්ලට ම පෙර අවි අමෝරා ගත යුතු යැයි මට සිතෙයි.

රස වෙනුවෙන් වස කනවා රුව වෙනුවෙන් විස උලනවා…

සුදු පැහැය කළු පැහැයට වඩා වේගවත්ව නෙත් ඇද ගන්නා බව නොරහසකි. ඒ නිසා කළු කාන්තාවකට වඩා සුදු කාන්තාවක් මූලිකව ආකර්ෂණයකට ලක් විය හැක.

එහෙත්, ඒ නෙත් ඇද ගැනීම ‘සිත් ඇද ගැනීමක්’ සේ හුවා දැක්වීම ඉඳුරාම වැරදි ය. සූර්යාලෝකය පරාවර්තනය කිරීමේ සිට සෙසු සියලුම වර්ණ කෙරෙහි සංවේදී බවක් දක්වන සුද පවිත්‍රත්වයේ සංකේතයක් බවට ද පොදු පිළි ගැනීමක් තිබේ.නමුත් එනිසා එය රූමත් බවේ සංකේතයක් ලෙස ගත යුතු නැත. කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකු වූ අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා) ගේ සුප්‍රකට “සුරතල් නංගියේ අපෙ අම්මා” පද්‍ය රචනයේ එන “අයියේ සුදු නම් ලස්සන ද? පොල් බෑයත් හරි සුදු නේද? එහෙනම් අයියට හැමටම වැඩියෙන් ලස්සන පොල් බෑයයි” යන්න ද එතුමාගේ කවිත්වය සේම නීතිඥ භාවය ද මුසු කොට ගත් කදිම උපහාස තර්කයකැයි මට සිතෙයි.

කාන්තාවකගේ රූමත්කම සඳහා මූලිකව ඉවහල් වනුයේ මුහුණ ඇතුළු ශරීරාංග මනා සේ පිහිටීම ය. පංචකල්‍යාණයෙහි එන ‘ඡවි කල්‍යාණය’ සුදු පැහැය ලෙස සමහරුන් අර්ථ දැක්වුවද එය ඉඳුරාම වැරදි ය. එහි දැක්වෙනුයේ සමෙහි ‘නිරෝගී බව’ පදනම් කර ගත් ‘ඔපය’ සහ ‘පැහැපත් බව’ (Fairness) මිස සුදු පැහැය නොවේ. මා එසේ කියන්නේ ‘සුදු පැහැයට’ අමතරව තවත් පැහැයන් ඕනෑ තරම් ඇති බැවිනි. මීට දශක අටක පමණ සිට අප රටේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවවල අවුරුදු කුමාරිය තේරීමේ තරග වල දී පවා සුදු පැවැති යුවතියන් අබිබවා තළෙලු හෝ කළු පැහැති යුවතියන් ජය ගත් බව අපට හොඳින් මතකය. මහගම සේකරයන් ගේ ගී රචනයක ද එන “ඉරට මුවා වෙන් ඉඳගෙන හිස පීරනවා” ආදී ජන කවි වලින් පැවසෙන අතීත කෘෂිකාර්මික සමාජයේ ඇදහීමට ලක් වූ “සිරියා දේවිය” තළෙළු සිරුරකින් යුතු තැනැත්තියක බව ඇය සම්බන්ධ වැඩි විස්තර විමසීමේ දී පෙනී යයි. නමුදු දුරාතීතයේ පැතිර ගත් වෛද්‍යවරයා යුරෝ කේන්ද්‍රීය මත වාදයක් සේ ලොව පුරා පැතිර ගොස් තිබේ.

මේ සියලු තත්ත්වය හමුවේ නවීනතම ලෝක දත්තයන් අනුව ‘සුදු සම’ කෙරෙහි තිබූ වටිනාකම වර්තමානය තුළ ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ. උපතින්ම ‘සුදු සමක්’ සහිත යුරෝපීය කතුන් තම පැහැය අඩුකොට ‘ලෝකඩ පැහැ’ (Bronze skin) සමක් ඇති කර ගැනීමට දක්වන උනන්දුව සුළුපටු නැත. ඊට අමතරව සුදු සහ නීග්රෝ ජාතික මාපියන්ගේ දරුවන්ට හිමි මුලාටෝ (Mulatto) ඡව වර්ණයටත් ඊට අමතරව කළුවර දැව සහිත ඡවි වර්ණයටත් (Ebony) ලොව ඇති පිළිගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

යුරෝපයේ ශීත සෘතුවේදී නිවර්තන කලාපීය රටවලට පැමිණ සිත් සේ ‘හිරු රැස් නාන’ කතුන් නැවත එම රටවලට ගොස් ඔබ දැන් ‘ලෝකඩ වර්ණයට’ නැතහොත් ‘කළුවර දැව වර්ණයට’ පැමිණ ඇතැයි සෙස්සන් පවසනු අසා සිටින්නේ මහත් ආඩම්බරයෙනි. එය තම ධනය මත පදනම් කර ගත් නිවර්තන කලාපීය සංචාරය ප්‍රකට කරවන ලක්ෂණයක් ලෙස ද ඔවුහු සලකති.

කළු පැහැති සමක් හිමි බැරැක් ඔබාමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍යයේ නායකයා බවට පත් වීමත් එවැනිම කළු සමක් හිමි මිචෙල් ඔබාමා ලොව මුල්ම ගැහැනිය බවට පත් වීමත් එහි අග්‍රඵලයකි. එමෙන්ම ලෝක ප්‍රකට ගායිකාවක වූ විට්නි හුස්ටන් ඇතුළු තවත් ලෝක පූජිත කාන්තාවන් කළු පැහැයෙන් යුතු වීමත් 1984 වසරේ මිස් ඇමරිකා තරගයෙන් වැනේසා විලියම්ස් නම් කළු ජාතික තරුණිය ජය ගැනීමත් සුදු සම සුන්දරය යන යුරෝ කේන්ද්‍රීය මිථ්‍යාව බිඳ දැමීමට සමත්ව තිබේ. එමෙන්ම මෙම කළු සම හා සබැඳි රූමත්කම අගැයුම 2021 මිස් යූ එස් ඒ, මිස් අර්ත් සහ මිස් ටීන් යූ එස් ඒ යන තරගවලින් තවත් උත්කර්ශයට පත් වූයේ සුදු ජාතික තරුණියන් අබිබවා ඒවායේ ජයග්‍රහණ කළු සම සහිත සුරූපිනියනට අත්වීමෙනි.

මෙම වත්මන් ප්‍රවණතා අනුව අප රටේ කාන්තාවන් තුළ වර්තමානයේ පවත්නා ‘සුදු වීමේ උන්මාදය’ අනාගත පරපුරේ උපහාසයට ලක් වීම කෙසේ වත් වැළැක්විය නොහැකි යැයි මට සිතේ. ඊට හේතුව 1955 වසරේ සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයක් මුල් කොට වද කහ කොත්තමල්ලි සමඟ මුසු කොට බීමෙන් කාන්තාවන් රූමත් වන බවට එකල ප්‍රධාන පුවත්පතක පළ වූ “කොටි වෙදකමක්” පිළිපදින්නට ගිය එවක යුවතියනට “බිව්වා නේද වදකහ සුදි” යනුවෙන් සමාජ උපහාසයක් එල්ල වීම ය. එහෙත්, අද සමාජය පුරා පැතිර යන මේ සුදු වීමේ උන්මාදය ඊට වඩා අතිශයින් බරපතළ වීම මත ඒ සඳහා වන මෙවන් අඥාන උපාය මාර්ග යොදන්නවුනට ඒ උපහාසය විඳ ගැනීමට සිදු වනුයේ ගිලන් යහනක හෝ මිනී වළක සිට වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment