තිලීපන් සමරුවක් සංවිධානය කිරිම: සිවාජිලිංගම්ට අධි චෝදනා භාර දෙයි

318

2020 වසරේ දී කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මියගිය සාමාජිකයකු වන රාසයියා පාර්තියන් හෙවත් තිලීපන් නමැත්තා මියගොස් වසර 33 ක් සැමරීම අනුස්මරණය කිරීමේ උත්සවයක් සංවිධානය කිරීමට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාලිංගම් කනගලිංගම් සිවාලිංගම් මහතාට ඊයේ (22 දා) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේදී අධිචෝදනා පත්‍රය භාරදීම සිදු කෙරිණි.

තම අධිකරණය විසින් මින් පෙර නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට ද නියෝග කළ විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළේය.

නඩු පැවරීමෙන් අනතුරුව වසරකටත් අධික කාලයක් අධිකරණය මඟහැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රිසෙන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මගින් ඊයේ (22 දා) අධිකරණයට භාර විය. 2020.09.15 වැනිදා කොණ්ඩාවිල් ප්‍රදේශයේදී එකී සැමරුම් උත්සවය පැවැත්වීමෙන් ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීමේ නියෝගය උල්ලංඝනයට කළේ යැයි විත්තිකරුට චෝදනා නඟා තිබිණි.

නීතිඥ උදාර මුහම්දිරම්ගේ තේජිත කෝරළගේ, නාමල් කරුණාරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රිසෙන්සි අර්සකුලරත්න මහතා විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේය. එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment