දූෂණ විරෝධී පනතට-හිස නමමු ගරුකොට හොර – තක්කඩි රැළට ඉඩ නොදෙව් එහෙත් පැන යෑමට!

239

දේශපාලන හා සමාජ ක්‍ෂේත්‍රවල තවමත් ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හා අස්වැසුම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සමාජගත කරන ලද චිත්‍රය ව්‍යාජ නැතහොත් හුදු රැවටිල්ලක් ද යන කරුණු කෙරෙහි ය. ආර්ථික සමානත්වය හා දුගී බව පැතිර යෑම වැළැක්වීම වැනි කරුණු පිළිබඳව ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බව එහිදී ඉදිරිපත් වන ප්‍රබල චෝදනා වේ. වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණයක සඳහන් වූ අර්ථ සාධක මුදලට සිදුවිය හැකි බව කියැවෙන ටි්‍රලියන 12 ක පාඩුව සම්බන්ධ විග්‍රහයට ද ආණ්ඩුවේ බලධාරීහු මෙතෙක් පිළිතුරු ලබාදීමට අසමත්ව සිටිති. ආණ්ඩුවේ සමීපතමයන් තවමත් වේදිකාවල උදන් අනන්නේ රනිල් ජනාධිපති ධුරය භාර නොගන්නට, මේ රට අනාථ වන බව ප්‍රකාශ කරමින් ය. රාජපක්‍ෂ කඳවුර එදා රනිල්ට දැක්වූ මිතුරු ආකල්පයත්, පාරිභෝගික ධනවාදී ආර්ථිකයට ඔවුන් විසින් දක්වන ලද විරෝධතා සියල්ල නිෂ්ක්‍රීය කෙරෙන ආර්ථික හා දේශපාලන විවේචනත් අද පොහොට්ටුවේ ප්‍රබලයන්ගෙන් ද ඇසෙයි. ඒ අතරම පොහොට්ටුවේ ඇතැම් කෙනෙක් රාජපක්‍ෂවරුන් කෙරෙහි බිඳී ගොස් තිබෙන විශ්වාසය යළි ගොඩනැඟීමේ ප්‍රයත්නයන්වල ද නිරතව සිටිති. එහෙත් සමාජ සාධාරණත්වය උදෙසා ඇසෙන හා නැඟෙන විරෝධතා සුළුපටු නොවන බව ද ආණ්ඩුව හොඳින් දනී.

මේ අතර පසුගිය සතියේදී පාර්ලිමේන්තුව තුළ සුවිශේෂී සිදුවීම් දෙකක් අපට දැකගත හැකි විය. එකක් මේ රටේ මූල්‍ය විනය පිරිහීම හා ආර්ථික බංකොලොත්භාවයට හේතු වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමය. අනෙක දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවා සම්මත කිරීමට හැකි වීමය. මෙම සිදුවීම් දෙකම ආණ්ඩුවට පමණක් නොව මෙතෙක් රට පාලනය කළ බොහෝ දෙනකුට ද ප්‍රශ්න මතුකරන්නක් බව ද නිසැකය. බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ ලංකාව 1948 සිට මේ දක්වා පාලනය කරන ලද්දේ ස්වදේශිකයන් විසිනි. එනිසා ඒ පාලනය තුළ රටේ සමාජ – ආර්ථික – දේශපාලන – සංස්කාතික ආදී හැම ක්‍ෂේත්‍රයකම සිදු වී තිබෙන සියලු සාධනීය මෙන්ම නිශේධනීය ක්‍රියාකාරකම්, ඒවායේ ප්‍රතිවිපාක ආදී සියල්ලටම ඒ රට කරවූ නායකයෝ ද පක්‍ෂ ද වගකිව යුතු වෙති.

නිදහස ලැබීමෙන් පසු මෙරටේ ව්‍යවස්ථා සංශෝධන මූලික වශයෙන් දෙවරක් සිදු වී තිබේ. 1972 ජනරජ ව්‍යවස්ථාව හා 1978 විධායක ජනාධිපති ක්‍රමය බලාත්මක කළ ව්‍යවස්ථා ඒ අවස්ථා දෙකයි. විශේෂයෙන්ම මෙරටේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පරිහානියෙහි සමාරම්භය ලෙස පිළිගනු ලබන්නේ ද 1978 න් පසු එළැඹුණු යුග හා කාල වකවානුද වේ. ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනගේ සිට මේ දක්වා ප්‍රේමදාස, චන්‍ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල හා ගෝඨාභය ජනාධිපති මැතිවරණවලින් එම ධුරයට පත් වූ අතර විජේතුංග හා රනිල් (වත්මන් ජනාධිපති) අනුප්‍රාප්තික ජනාධිපතිවරු ලෙස ද පත් වූ බව රටම දන්නා කරුණකි. එසේ නම් රටේ ආර්ථික පරිහානියට පමණක් නොව දූෂණ, වංචා, අල්ලස්, බලය අවභාවිත කිරීම් ආදී චෝදනා සියල්ල සිදුවීම සම්බන්ධයෙන් ඒ ඒ පාලන යුග කෙරෙහි අවධානය යොමුවීම නිවැරදිය. එහෙත් මේ පත්ව සිටින පාර්ලිමේන්තු කමිටුවේ කාල නිර්ණය, සීමා මායිම් පිළිබඳව අපට වැටහීමක් නැත. එසේ වුවද ආසන්න අතීතය හා බැඳුණු සිදුවීම් කෙරෙහි වුවද විධිමත් අපක්‍ෂපාත වාර්තාවක් මෙම කමිටුවට ලබාදීමට කිසිදු බාධාවක් නැත.

අද සමස්තයක් ලෙස මේ රටේ නූතන පාලකයන්ටත් ඔවුන්ගේ මැති ඇමැතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ද විවිධ විවේචන තිබේ. එපමණක් නොව පක්‍ෂවලට මූල්‍ය ආධාර ලබාදී අනිසි ලෙස ආණ්ඩුවලින් ප්‍රතිලාභ ලබාගත් චෞර ව්‍යාපාරික වළල්ලක් ද සිටිතියි ප්‍රබල සංවාදයක් ද ඇත. මහජනතාව දුගී භාවයෙහි පත්ලට වැටෙද්දී විශාල බදු සහන පමණක් නොව මිලියන ගණනින් ලබාගත් බැංකු ණය කපාහැරීමේ භාග්‍යය ද ඇතැම් සමාගම් හා පුද්ගලයන්ට උදා වී තිබේ. එනිසා මේ අක්‍රමිකතා, දූෂිත මෙහෙයුම් සිදුකළ ආණ්ඩුවලට සම්බන්ධ වූ දේශපාලන චරිත ද බොහෝය. අද බොහෝ විට රාජපක්‍ෂ පාලනයට හා එම පාලනය ගැටගැසී තිබෙන පවුල් ගස්වලට ද චෝදනා නැඟුණත් ඊට පෙර ද එබඳුම අයථා ක්‍රියාකාරකම් සිදු වූ බව ද රහසක් නොවේ. නිදසුදක් ලෙස කිවහොත් ජයවර්ධන යුගයේ සිටි රත්තරන් පොලු හොරා මෙන්ම මේ යුගයේදීත් එබඳුම රත්තරන් හොරෙක් ගැන ද කුප්‍රකට වාර්තා තිබේ. අනුර කුමාර මන්ත්‍රීවරයා දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී හොරුන් ගැන කළ විවේචනය දේශපාලන සදාචාරය ප්‍රශ්න කිරීමක් ද වේ. අනුර කුමාර එබඳු විවේචනයක් කරද්දී මහින්දානන්ද හිටපු ඇමැතිවරයා ඔහුට ද චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. ඔහුගේ දේශපාලන මඩ අපට වැදගත් නොවූවත් එදා අනුර කුමාරගේ ද දායකත්වයෙන් සිදු වූ දූෂිතයන් ඇල්ලීමේ මෙහෙයුම ගැන නම් අපට ද ප්‍රශ්න තිබේ. එක්කෝ අනුර කුමාර එදා සිදු වූයේ කුමක් දැයි පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කළ යුතුය. එදා කළ විමර්ශන අනුව නඩු පැවරූ සංඛ්‍යාව, ඒවාට සිදු වූයේ කුමක් ද යන්න සවිස්තරව දැක්වීම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට ද හොඳය. අල්ලස් කොමිසමට කැඳවූ ඇතැම් අයට නාගයන් දෂ්ඨ කළ බවත්, තවත් අය නීතියේ සිදුරුවලින් පැන ගිය බවත් ඔහු එදා පාර්ලිමේන්තුවේ දීත් මතක් කළේය. එහෙත් ජනතාව බලාපොරොත්තුවන යුක්තිය ඉටු නොවූ බව පමණක් අප සඳහන් කළ යුතුමය. කුමක් වුවත් මේ සම්බන්ධයෙන් අනුර කුමාර විසින් ඔවුන්ගේ සමුළුවකදී කරන ලද කතාවකදී යම් යම් තොරතුරු ඉදිරිපත් කළ බවක් ද මාධ්‍යවල පළවී තිබුණි. එහිදී ඔහු චෝදනා කළේ දේශපාලන මෙහෙයුම් නිසා එදා පැවරූ නඩු අසාර්ථක වූ බව ය. ඔහුට අනුව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව 2019 දී නඩු 94 ක් පවරා තිබුණත් 2020 දී හා 2022 දීත් නඩු 46 ක් ඉල්ලා අස්කර ගෙන ඇත. ඔහුගේ අනාවරණයට එම කොමිසමේ බලධාරීහු කුමක් කියත්ද? සැබැවින්ම මෙම ආයතනය බලයට පත්වන ආණ්ඩුවල අතකොළුවක් ද? එසේම දූෂිතයන් හඹා යන නිලධාරීන්ට රැකවරණයක් නොමැති නම් එයත් බරපතළ ප්‍රශ්නයකි. නීතිපති දෙපාර්තමේන්තුව, නීතිපති හා එම නිලධාරීන් දේශපාලන බලධාරීන් විසින් හසුරුවනු ලබන්නේ නම් රටේ දූෂණ, අල්ලස්, වංචා වැළැක්විය හැක්කේ කෙසේද?

දූෂණ විරෝධී පනතට-හිස නමමු ගරුකොට හොර - තක්කඩි රැළට ඉඩ නොදෙව් එහෙත් පැන යෑමට!

කෙසේ වුවද මෙම ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධ කරුණු විමසීමේ කමිටුව පිළිබඳ තිබෙන විවේචන නිෂ්ක්‍රීය කළ හැක්කේ ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාව අනුවය. එහි බහුතරය ආණ්ඩුවට හිමි වුවත් විපක්‍ෂ නියෝජනයක් ද ඇත. යම් හෙයකින් ආණ්ඩුවේ සාමාජිකයන් සිය බැඳීම අනුව පක්‍ෂග්‍රාහී ලෙස ක්‍රියාකළහොත් විපක්‍ෂයට වෙනම වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බව ද අපට පෙනේ. එනිසා සාගර කාරියවසම් ගැන කෙරෙන විවේචනවල ගැඹුරක් නැත. කුමක් වුවත් ස.ජ.බ. මේ වන විට තීරණය කර ඇත්තේ එම කාරක සභාවෙන් ඉවත් වීමටය. එසේම ජ.වි.පෙ. විජිත හේරත් ද එයින් ඉවත්වන බව පවසා තිබේ. එසේම මේ රටේ කොමිසම් පත්කිරීම් හා ඒවායේ වාර්තා පිළිබඳව ද අපට ඇත්තේ සාධනීය අපේක්‍ෂා නොවන බව ද කිව යුතුය. එක් අතකින් හොරුන් ඇල්ලීමට වඩාත්ම ගැළපෙන්නේ හොරුන්ම යැයි කෙරෙන විවේචනයෙහි ද සත්‍යයක් තිබිය හැකිය. සැබැවින් ම විදේශ ඇමැති පැවසූ පරිදිම මෙම දූෂණ, වංචා, අල්ලස් ආදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කෙරෙන චෝදනා බොහෝ දෙනකුට අදාළ විය හැකිය. ඔහු පවසන පරිදි හැම කෙනකුගේම දේශපාලන කිල්ලෝටවල හුනු තිබේද? හුනු නැති කිල්ලෝට හිමිකරුවොත් සිටිත් ද? එනිසා මෙම කොමිසම පක්‍ෂ, පාට නොබලා මුහුණු නොබලා මෙම ආර්ථික ආගාධයට රට ඇද දැමූ ඒ ඉතිහාසය විනිශ්චය කිරීමට නොව අනාවරණය කිරීමට බැඳී සිටියි.

දැන් අපි ආණ්ඩුව විසින් සංශෝධන සහිතව අනුමත කිරීමට යටත්ව ඉදිරිපත් කළ දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් විමසා බලමු. මෙයට ඉහත කී ආර්ථික හා මූල්‍ය අපරාධකරුවන් සෙවීමේ ක්‍රියාන්විතය ද සම්බන්ධ වන බව නිසැකය. දේශපාලනය මහජන සේවය සඳහා වූ අවංක ව්‍යාපාරයක් නොවූ රටවල මෙබඳු දූෂණ, අයථා ක්‍රියාකාරකම් අමුතු දේවල් නොවේ. අපේ කලාපයේ රටවල්වල වුවද, මෙම දූෂණ, අල්ලස්, වංචා සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා තිබේ. ඒ අතින් ලංකාව සිටින්නේ ඉතා පහළ තැනකය. පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා වැනි කමිටුවලින් වුවද අනාවරණය වී තිබෙන දූෂිත හා වංක ගනුදෙනු කිලිටි දේශපාලන චරිත බොහෝය. මේ හැරුනු විට එබඳු දූෂිත, අධම ක්‍රියාකාරකම් පිළිබඳ සමාජ මාධ්‍යවල ද විවිධ හෙළිකිරීම් සිදුවෙයි. ඒවා අධිකරණයකට යොමු නොවීම ද බලවත් ප්‍රශ්නයකි. මේ වන විට විවිධ ගනුදෙනු, ගිවිසුම් පිළිබඳ සමාජය තුළ පැතිර තිබෙන චෝදනා බරපතළය. එසේම ඇමෙරිකාව වැනි රටවල් විසින් ද ශ්‍රී ලංකාවේ දූෂණ, ගනුදෙනු පිළිබඳව කරන ලද අනාවරණයන් ද ඇත. 2008 – 2014 කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයකුගේ මූල්‍ය වංචාවක් හෙළි වී තිබේ. කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයෙන් එය හිතාමතා සිදු කළ වරදක් බවට තීන්දුවක් ද ලබා දී ඇත. එහෙත් මෙරටේ එයට ගත් නීතිමය පියවරක් ගැන වාර්තා වී නැත.

ලංකාවේ විදේශ තානාපති සේවයට කරනු ලබන බොහෝ පත්වීම් ගැන අදටත් චෝදනා තිබේ. පනහේ දශකයේදී අගමැතිවරයා ලෙස සිටි ඇස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක එදා මෙම රාජ දූත සේවයට විද්වත් ගුණපාල මලලසේකර මහාචාර්යවරයා පත් කළ බව අපි දනිමු. මහාචාර්ය සරච්චන්‍ද්‍ර, මහාචාර්ය ජේ. බී. දිසානායක වැනි වියතුන් පත් කරන ලද්දේත් ඒ සිරිත අනුව බව පෙනේ. එහෙත් මේ කිසිදු විද්වත් භාවයක් නැති පරාජිත දේශපාලන චරිත ඒ සඳහා නම් කිරීමේ වරද අදටත් සිදුවන්නකි. ඇත්තටම හැත්තෑපස් වසරක දේශපාලන අවිධිමත් බව මේ රටට කළ විපත්, හානි බරපතළය. එනිසා මේ දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම නිසැකයෙන් ම පොදු ජනතාවගේ සනාතන ප්‍රාර්ථනාවක් ඉටුකිරීමක් බව ද පෙන්වා දිය යුතුය. මෙම දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුවේම සමහරුන් විසින් පස්සට අදින ලද බව ද එදින එම විවාදය සජීවී ලෙස නැරඹු පුරවැසියන්ට ද හැඟී යන්නකි. අධිකරණ ඇමැති විජයදාස අවසානයේදී කියා සිටියේ තමන්ට එබඳු පසුබෑමකට හේතු නැති බවය. අපිට එය හාරා ඇවිස්සීමට වුවමනා නැත. එහෙත් තවමත් මේ ජරපත් ක්‍රමය නඩත්තු කරමින් මේ දේශපාලන පල්වළ සුරැකීමට දතකන මුග්ධයන් සිටින බව ද ඉතා පැහැදිලි ය. මෙයට පෙර මෙම ලියැවිල්ල මගින් ද පෙන්වා දෙන ලද ආණ්ඩුවේ පළාත් පාලන සංශෝධන පනත ද නිසැකවම ඒ අමන දේශපාලන තකතීරුවන්ට රැකවරණය දීමට ගැසූ කූට ප්‍රයෝගයක් බව දැන් රටම දනී. දැන් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක් කෙරෙමින් තිබේ.

කෙසේ හෝ වේවා ආණ්ඩුව කුමන හේතුවක් නිසා හෝ රටේ ආර්ථික හා මූල්‍ය පරිහානියට හේතු සොයා බැලීම මෙන්ම දූෂණ විරෝධී පනතක් බලාත්මක කිරීමට යොමුවීම සාධනීය ප්‍රතිචාරයක් ලෙස හැඳින්විය යුතුය. ඇත්ත වශයෙන් ම මෙම ජූලි 09 වැනි දිනට වසරක් සපිරුණු ගාලු මුවදොර අරගලය විසින් සමාජගත කරන ලද පොදුජන අපේක්‍ෂාවන් අතර මූලික වශයෙන් ම මෙම ආර්ථික විනාශකාරීන් මෙන්ම චංචා, දූෂණ, අල්ලස් සමඟ කිලිටි වී තිබෙන දේශපාලනයත්, එහි ප්‍රමුඛ කඳවුරත් පන්නා දැමිය යුතුය යන තේමාවන් ද අඩංගු විය. කුමක් වුවත් පුළුල් සමාජ අවධානයක් හිමි වූ ඒ ගාලු මුවදොර අරගලය මේ රටේ ඓතිහාසික ජනතා නැඟිටීමක් ලෙස පිළිගන්නා අප එයින් කවර හෝ ත්‍රස්තවාදී – අන්තවාදී ක්‍රියා සිදුවී තිබේ නම් එකහෙළාම ඒවාට විරෝධය දක්වමු. රට දේශපාලන ආර්ථික විකෘතියක් බවට පත් කළා වූද, ඒවාට වගකිවයුතු යැයි ජනතා උදහසට ලක්ව සිටින්නාවූ ද, ඇතැම් කොටස් විසින් අරගලය පිළිබඳ දක්වන දුෂ්ට ප්‍රතිචාර ද අපි ප්‍රතික්‍ෂේප කරමු. එහෙත් එහිම වූ අදේශපාලනික මෙහෙයුම් අවස්ථාවාදීන්ගේ රිංගා ගැනීම්, පටු සමාජ ක්‍රියාකාරින් දැන හඳුනා ගැනීමට අරගලය අසමත් වූ බව ද අප පිළිගත යුතුය. නිසි නායකත්වයක්, මඟපෙන්වීමක් නොවූ සාමූහික බැඳීම් දුර්වල වූ ඒ අරගලය මේ රටේ දේශපාලන කඳවුර ඔළුවෙන් හිටවීමට සමත් වුව ද එය වඳ පීදුණු සටනක් ලෙස අවසන් විය. විපක්‍ෂ නායක සජිත් පවසන්නේ ද පුරවැසි අරගලයේ කුසලානය රාජපක්‍ෂවාදී පිරිසක් පැහැර ගත් බවකි. මෙයට තවත් බොහෝ කරුණු එකතු කළ යුතු අතර, එය වෙනම සංවාදයකට යොමු විය යුතු මාතෘකාවකි. එහෙත් ස.ජ.බ. හර්ෂ මන්ත්‍රීවරයා පවසන පරිදිම අරගලයේ විරෝධතා කුණාටුවට හසුවී ජනාධිපති පුටුව ද අහිමි වූ ගෝඨාභයට අද සැපවත් ජීවිතයක්, සුවිශේෂ ආරක්‍ෂා හමුදාවල ගරු බුහුමන් ආදියත් ලැබෙද්දී ඒ අරගලයේ සැබෑ උරුමක්කාරයෝ අසරණව සිටිති. අරගලයෙන් පසු ජනාධිපති පුටුව හිමි වූ රනිල්ගේ ආණ්ඩුව අද ඒ අරගලකරුවන් බින්දුවට දමා, සකලවිධ දුශ්චරිත, මෙහෙයුම් ආදිය අරගලකරුවන් වෙත පවරමින් ද සිටියි. එපමණක් නොව නිල බල ගිලිහී ගිය පොහොට්ටුවේ ඇතැම් චරිත තවමත් පරණ පුරුදු දේශපාලන කෙළි සෙල්ලම් සඳහා දතකට මදින බව ද රහසක් නොවේ. අරගලයට බියෙන් වසන් වී සැඟවී, උන්නා මළා නොමැතිව සිටි සමහරු දැන් වේදිකා දෙදරවමින් අගරලකරුවන් පතුරු ගසති. එහෙත් රටේ සමාජ – ආර්ථික – දේශපාලනයට වුවමනා ප්‍රතිසංස්කරණ කිසිවක් ඔවුන්ගෙන් ඉදිරිපත් වී තිබේද? දැන් ආණ්ඩුව සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සිතියම ද හකුලා දමා යළිත් සුපුරුදු දේශපාලන පල් වළ ඉහගෙන කෑමටද?

අපි ඒ ප්‍රශ්නය ප්‍රබුද්ධ පුරවැසියන්ටත් වෙනත් වෘත්තිකයන්, වියතුන් ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ටත් යොමු කරමු. එදා ගාලුමුවදොර අරගලය තුළ රැව්දුන් අධිකාරීවාදී දේශපාලන කඳවුරු නිෂ්ක්‍රීය කිරීමට මෙන්ම නූතන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා ලක්‍ෂණ ද සමාජගත කෙරෙන සාමකාමී අහිංසාවාදී සාධාරණ සමාජයක් බිහිවිය යුතුය යන සාඩම්බර ප්‍රාර්ථනාව වෙනුවෙන් කැපවීම තවදුරටත් අපට කල් දැමිය නොහැකි බව ද ලියා තැබිය යුතුය. එසේම පාර්ලිමේන්තුව විසින් අවධානය යොමුකරන ලද ආර්ථික ව්‍යසනයේ සැබෑ තතු විමසා දැන එයට විසඳුම් ලබාදීමත්, රට වෙලාගත් දූෂණ, වංචා, අල්ලස් දුරලීම සඳහා සම්මත කෙරෙන පනත වෙනුවෙන් පෙනී සිටීමත් නමැති පිදුරු ගස් දෙකේ අපි එල්ලී සිටීමට වඩා ජනතාවට දැනෙන, හැඟෙන අලුත් දේශපාලනයක් අද රටට අවශ්‍ය වී තිබේ. නැතහොත් පොහොට්ටුව හා එජාපය එක්ව යළිත් ජයවර්ධන යුගයටම රට රැගෙන යෑමට ද බැරි නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment