පඬුකරඳ ගහ ඉවත් කළේ කැබිනට් අනුමැතියකින් – ඇමැති බන්දුල කියයි

225

අලුතින් ගස් 200ක් සිටුවනවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා වන පරිදි පැවති පඬුකරඳ ගස ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එක් එක් දේශපාලන වුවමනාවන් හා විවිධ හේතූන් මත ක්‍රියාත්මක වූ කණ්ඩායම් එම පඬුකරඳ ගස වසර සියයක් පමණ පැරණි බවත් ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් කියමින් විරෝධතා දක්වද්දී විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් එයට ඇහුම්කන් දෙමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිතියම වෙනස් කර ගසට හානියක් නොවන පරිදි ඉදිකිරීම් කිරීමට මුලදී සැලසුම් කළ බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සැලසුම වෙනස් කිරීමේදී මාර්ගය ඉදිකිරීම සඳහා අමතරව රුපියල් බිලියන පහළොවක් වැය වන බව පෙනී ගිය බව කී ඇමැතිවරයා ජනතා මුදල් එතරම් විශාල ප්‍රමාණයක් අමතරව වැය කිරීම අසීරු බැවින් පසුව ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට පියවර ගත් බවද කීය. විද්වතුන් ඇතුළු පිරිස් යොදා කළ එම අධ්‍යයනයේදී මෙම පඬුකරඳ ගස තිබූ ප්‍රදේශය අවට භූමියේ වසර හතළිහකට වඩා පැරණි තවත් පඬුකරඳ ගස් පහළොවක් පමණ තිබෙන අතර එයට අමතරව අඩි 12-15 උසින් යුතු ගස් 25 ක් තිබෙන බව අනාවරණය වූ බවද ඇමැතිවරයා පැවසීය.

මෙම පඬුකරඳ ගස ඉවත් කිරීමත් සමඟ අලුතින් පඬුකරඳ ශාක 200ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි කී ඇමැතිවරයා, එම ශාකවලින් කිහිපයක් ප්‍රවාහන අමාත්‍යංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රෝපණය කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11 දා) පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment