වැටුණු රට දාලා පිටරට යන එක හපන්කමක් නොවේ!

187
  • සමන්ත විද්‍යාරත්න හාළිඇලදී කියයි

‘රට වැටෙන වෙලාවේ රට දාලා පිටරට යන එක හපන්කමක් නොවේ’ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පා.ම. සමන්ත විද්‍යාරත්න මහතා හාලිඇල නුගසෙවන ගම්මානයේ පැවැති ජනහමුවක් අමතා පෙරේදා (02 දා) පැවසීය.

අපි එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕන. මේ රට හදන්න නම් හදන්න පුළුවන් පාරක් හොයා ගන්න ඕන බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවැසීය.

“මට හිතෙනවා මේ රටේ පාලකයෝ ලංකාවේ මිනිසුන්ගෙන් පළිගන්නවාද කියලා. යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ බලය නැති වෙන කොට ඔක්කොම කාබාසිනියා කරලා එයාලත් රට යයි.

බැසිල්ටත් යන්න පුළුවන් ඇමරිකාවට. ඩලස්ටත් යන්න පුළුවන්. ගෝඨාභයටත් යන්න පුළුවන්. අපි නොදන්නවාට හුඟක් දේශපාලනඥයන්ට යන්න පුළුවන්.

මේ රටේ බුද්ධිමතුන් උගතුන් විශාල වශයෙන් පෝලිම් ගැහිලා රට අත්හැර යනවා. විශේෂඥ වෛද්‍යවරු නැතිවෙන ගානට රටෙන් යනවා. ඉංජිනේරුවෝ යනවා. මහචාර්යවරු යනවා. ඔක්කෝම ගියාට පස්සේ බෙහෙත් පෙත්තක් දෙන්න මිනිහෙක් නැතිනම් අප ඉඳලා වැඩක් තියෙනවාද?

බැරිම වුණොත් මේ නුගසෙවණ ගමේ කට්ටිය කොහේද යන්න හිතන් ඉන්නේ? නුගසෙවණ ගමේ කට්ටියට රස්සාව කොහේද තියෙන්නේ? යන්න තැනක් තියෙනවාද? අපහාසයට අවනම්බුවට කියනවා නොවෙයි, මෙහෙම තමයි මැරෙන්න වෙන්නේ. යතොත් කනත්ත විතරයි. මේ මාතෘ භූමිය ලක් අම්මා දාලා අපිට යන්න බෑ. රටේ තිස් අවුරුදු යුද්ධය කාලේ දුෂ්කරතා තිබුණත් පොහොර නැති වුණේ නෑ. අද වාගේ බඩුවලට අසීමිත මිලක් තිබුණේ නෑ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් තිබුණේ නෑ. කිව් ආර් කෝඩ් එකට තෙල් ගැහුවේ නෑ. පෝලිම්වල මිනිස්සු මැරුණේ නැහැ.

අද ප්‍රශ්නය එදාට වැඩිය බරපතළයි. අමාරු කාලපරිච්ඡේදයක් ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය කඩා වැටිලා. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. ඔපරේෂන් එකක් කර ගන්න නෑ.

අධ්‍යාපනය අර්බුදයට ගිහිල්ලා. ලක්ෂ 45 ක් දරුවෝ ඉස්කෝලේ යන්න ඕන. විභාග කල් යනවා. පාසැල් වැහෙනවා. අධ්‍යාපන උපකරණ මිල ඉහළ ගිහිල්ලා. රුපියල් 3 ට තිබුණ මකන කෑල්ල දැන් රුපියල් 10 යි. රුපියල් 10 තිබුණ පෑන රුපියල් 30 ට 40 ට ගිහිල්ලා. බස් ගාස්තු වැඩිවෙලා. ටියුෂන් එකට යවා ගන්න බැහැ.

දැන් ඒ අතරේ දඩ ගහනවා. බදු ගහනවා. ඔරොත්තු දෙන්නේ නැහැ. කළු විරෝධතා සතියට වෛද්‍යවරු ඉංජිනේරුවෝ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු බැංකු සේවකයෝ පාරට බැස්සා. ඒ විරෝධතාව ඉවර නැහැ. මේ කට්ටියගේ වැටුප් විශාල පංගුවක් බදු හැටියට කපා ගන්නවා.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment