ලියනගේ ලියන්න හැදු ජය බංගලි උදුරාගෙන ලියති

335

බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක් දින සටන 2-1 ක් ලෙස විසඳේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් යුත් එක් දින තරගාවලියේ ඊයේ (18 වැනිදා) පැවැති අවසන් තරගය ජය ගත් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම 2-1 ක් ලෙස තරගාවලියේ ශූරතාවයට හිමිකම් කීහ.

පළමු තරග දෙක අවසානයේ 1-1 ක් ලෙස සම මට්ටමේ සිටිමින් කණ්ඩායම් දෙක ඊයේ අවසන් තරගය සඳහා චැත්‍රගොං ක්‍රීඩා පිටියට පිවිසි අතර එහිදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 4 ක පහසු ජයග්‍රහණයක් බංග්ලාදේශය අත් කර ගත්තේය.

ඒ අනුව අඛණ්ඩව තරගාවලි හතක් ජයග්‍රහණය කිරීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුවද බිඳ වැටුණු අතර බංග්ලාදේශයට එරෙහිව දෙවැනි එක් දින තරගාවලි පරාජයද උරුම විය.

තණතිල්ල සහ ක්‍රීඩාංගණය වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තරමට කොළපැහැ ගැන්වී තිබූ තණ තීරුවක කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව ගත් තීරණය මේවන විට විවාදයට තුඩුදී ඇත.

ඒ අනුව බංග්ලාදේශය පන්දු යවන්නන්ගේ පීඩනය මත සියලු ක්‍රීඩකයෝ දැවී නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 235 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූහ.

එහෙත් 40 වැනි පන්දුවාරයේ දෙවනි පන්දුවේදී ජයග්‍රහණය තම නම ඉදිරියේ ලියා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව ගත් තීරණය කෙතරම් දරුණු වී ද යත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 154 ක් තුළ දැවී ගියේය.

එහිදී ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැමූ යොවුන් මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාව ඉදිරියේ යම්තම් ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් සටහන් කළේය.

පන්දු 102 ක් තුළදී ජනිත් නොදැවී ලකුණු 101 ක් වාර්තා කර අතර ඊට හතරේ පහර 11 ක් සහ 6 පහර දෙකක් ඇතුළත් විය.

ජනිත් සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා අතර 8 වැනි කඩුල්ල සඳහා පන්දු වාර දහතුනක් තුළ ලකුණු 60 ක සම්බන්ධතාවයක් වාර්තා වුණු අතර මහීෂ්ගේ ඒ සඳහා දායකත්වය පන්දු 40 කදී ලකුණු 15 ක් ලෙස සටහන් වූයේය.

ජනිත්ගේ ඉනිම කෙතරම් සුවිශේෂී වූයේ ද යත් ඔහුට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 37 කි. එම ශතකය ජනිත් ලියනගේ ගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයද විය.

සුපුරුදු පරිදි ලකුණු අතර නොසිටි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04 කට දැවී ගිය අතර ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී නිරපරාදේ දැවී ගියේය.

ඔහුට එරෙහිව ලබාදුන් තීන්දුව තෙවැනි විනිසුරුට යොමු නොකර පැතුම් පිටියෙන් ඉවත් වූ අතර රූපවාහිනී පුනරූපණවලින් පැහැදිලිව දක්නට ලැබුණේ කඩුල්ල මගහැර පැතුම්ගේ පා ඉන්නෙන් ඉවතට පන්දුව ඇදී යන බවයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් හතර දෙනකු මෙම තරගයේදී පන්දු රැකීමට ගොස් ආබාධයන්ට ලක් වූ අතර එහිදී පිටියෙන් ඉවත් වූ සෞම්‍ය සර්කාර් වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස පැමිණි ටන්සිඩ් හසන් ලකුණු 84 ක් ලබා බංග්ලාදේශ ජයග්‍රහණයට පාර කැපුවේය.

ටන්සිඩ් රැස් කළ එම ලකුණු සංඛ්‍යාව ආදේශක ක්‍රීඩකයෙකු එක් දින ජාත්‍යන්තර තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ලකුණු 80 ක් ලැබූ ඔස්ටේ්‍රලියාවේ මානස් ලබුශේන් ය.

බංග්ලාදේශ ජයග්‍රහණය ඉනිමේ අවසන් භාගයේදී ඉක්මන් කළ රිශාඩ් හුසේන් පන්දු 18 කදී නොදැවී ලකුණු 48ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 5 ක් සහ 6 පහර 4 ක් ඇතුළත් විය.

ඉන් හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් වනිදු හසරංගගේ එක් පන්දු වාරයක් තුළ වාර්තා වූ අතර තරගයේ වීරයා සම්මානය ද රිශාඩ්ට හිමි විය.

තරගාවලියේ වීරයා ලෙස බංග්ලාදේශයේ නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සම්මාන ලැබීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 235/10 (50)

පැතුම් නිශ්ශංක 01, අවිශ්ක ප්‍රනාන්දු 04, කුසල් මෙන්ඩිස් 29, සදීර සමරවික්‍රම 14, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, වනිදු හසරංග 11, මහීෂ් තීක්ෂණ 15, ප්‍රමෝද් මදුෂාන් 03, ලහිරු කුමාර 01, දුනිත් වෙල්ලාලගේ 01

අතිරේක 18

පන්දු යැවීම

ශොරිෆුල් ඉස්ලාම් 10-55-0, ටස්කින් අහමඩ් 10-42-3, මෙහෙදි හසන් මිරාස් 10-38-2, සෞම්‍ය සර්කාර් 2-10-1, මුෂ්ටෆිෂර් රහ්මාන් 9-39-2, රිශාඩ් හුසේන් 9-51-1

බංග්ලාදේශය 237/6 (40.2)

එනමුල් හක් 12, ටන්සිඩ් හසන් 84, හුසේන් ෂැන්ටෝ 01, ටව්හිඩ් රිඩෝයි 22, මහමුදුල්ලා 01, මුෂ්ෆිකර් රහීම් නොදැවී 37, රිශාඩ් හුසේන් නොදැවී 48, මෙහිදී හසන් මිරාස් 25

අතිරේක 07

පන්දු යැවීම

ප්‍රමෝද් මදුෂාන් 7-52-0, ලහිරු කුමාර 8-48 – 4 මහීෂ් තීක්ෂණ 9.2 – 35-0 වනිදු හසරංග 9-64-2, දුනිත් වෙල්ලාලගේ 6-35-0, චරිත් අසලංක 1-8-0

advertistmentadvertistment
advertistmentadvertistment