‘ජැස්මින්’ සුවඳ සිත කය පුරා වින්දනය කෙළෙමි

21

ශ්‍යාම කුමාර මුණසිංහ සාහිත්‍යධරයා දෑසමන් මල් සුවඳින් ප්‍රමුදිතව සාහිත්‍ය කෘතියක් නිර්මාණය කර තිබේ. එය ඔහු විසින් ජනගත කර තිබෙන ඔහුගේ නවතම කෘතියයි. එය අංගසම්පූර්ණ නවකතාවකි. මෙයට පෙරාතුව ඔහු විසින් පළ කර ඇති කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ මා කියවා ඇත. කාලයක් මුළුල්ලේ සාහිත්‍ය සේවනයෙහි මතුනොව, වෙනත් උසස් කලා නිර්මාණ සේවනය කිරීමෙන් ලත් මනා පරිචය, දැනුම හා අභ්‍යාසය විසින් ඔහු කෘතහස්ත ප්‍රවීණ සාහිත්‍යවේදියකු බවට පත්කර ඇතැයි කීමට ‘ජැස්මින්‘ නවකතාවෙන් ඉව වැටෙන කලාත්මක සුවඳම ප්‍රමාණවත් යැයි කීම යුක්ති යුක්තය.

සාහිත්‍ය ලෝකය වූ කලී, මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ බසින් කල්පනා ලෝකයකි. (world of imagination) එහි නිර්මාණකරුවෝ ද රසභාව සූචකයෝ ද අප්‍රමාණව සැරිසරති. නිර්මාණකරුවෝ කතන්දර රසය ඉක්මවා ගිය මනුෂ්‍ය ජීවිතයෙහි ගැඹුර විනිවිදිමින් නවතම රසයෙන් අනූන ප්‍රබන්ධ කතා ගෙත්තම් කරති. අප කර්තෘවරයාගේ ‘ජැස්මින්‘ බොහෝ පාඨක සමාජවලට හුරු පුරුදු යථාර්ථවාදී නවකතාවක් ලෙස අපට හඳුන්වා දිය හැකිය. ඉංග්‍රීසි බසින් fiction හා faction යනුවෙන් හඳුන්වන නවකතා ප්‍රවර්ග දෙකක් ගැන ද කියවේ. මුළුමනින්ම කල්පිතයක් වූ ප්‍රබන්ධයක් ‘fiction’ වන අතර, ජීවිතයේ අත්දකින සත්‍ය තොරතුරු හා සිදුවීම් පාදක කරගත් නවකතා ‘faction’ ගණයට අයත් ලෙස සැලකේ. මහැදුරු සරච්චන්ද්‍රයන් වරෙක ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කළ තුන් වසරක කාලයක් තුළ අත්වින්දා වූ සත්‍ය සිදුවීම් පාදක කරගෙන ඉංග්‍රීසි බසින් පළකළ, ‘
with the begging bowl’ නම් වූ නවකතාව එබඳු ගණයට අයත් කෘතියක් ලෙස බි්‍රතාන්‍ය කවුන්සිලයේ දී එකල ජනගත කෙරිණි.

ශ්‍යාම කුමාරයන් සිය නවකතාවේ ප්‍රස්තාවනාවෙන් පැහැදිලි කර දෙන විදිහට අනුව, ඔහුගේ කෘතිය ඔහු අත්විඳිනු ලැබූ සත්‍ය සිදුවීම් දාමයකින් ව්‍යුත්පන්න කතාවකි. එහෙත් එය මුළුමනින්ම ‘faction’ ප්‍රවර්ගයටම අයත් නවකතාවක් යැයි කිව නොහැකිය.

ඉතාමත් සිත් ගන්නා ප්‍රවිෂ්ටයකින් ඇරැඹෙන ප්‍රබන්ධයෙහි භාෂා භාවිතය, කර්තෘවරයාටම ආවේණික ශෛලියකින් ගොඩනගාගත් ස්වතන්ත්‍ර ලක්ෂණ පළ කරන්නකැයි හැඟේ. එය වඩාත් ඉස්මතු වන්නේ කෘතියෙහි පරිසර වර්ණනයට යොමු වූ තැන්වලදී ය. කතා නිමිත්තෙහි වින්‍යාසය හෙවත් මුල මැද අග ගළපා ඇති ආකාරයත්, පාඨකයාගේ කියවීමේ රුචිය වඩවන අයුරින් සිදු වී ඇත. චරිත හැසිරවීමෙහි නිරූපණත්වය හා කාලය හා අවකාශය ඇතුළත සිදුවීම්වල විශ්වසනීයත්වය ඉසියුම් ආකාරයෙන් සුරැකීමට කතුවරයා දක්වා තිබෙන සමාර්ථ්‍යය ඉතා විශිෂ්ටය. උපමා රූපකවල නව්‍යත්වය ද විශේෂිතය.

එක්තරා යතිවරයාණන් වහන්සේ නමක් (මහාචාර්ය ඉඳුරාගාරේ ධර්මරතන හිමි) බණ දේශනයකදී, මිනිසා ජීවත් කරවීමේදී බලපාන තුන් ඈඳුතු සබඳතාවක් ගැන දෙසූ බවක් මගේ මතකයට නැඟෙයි. එනම් වෘත්තිය, ශරීරය හා ජීවිතයයි. ශ්‍යාම කුමාර වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ශරීරය රෝගී වූවන්ට ප්‍රතිකාර කිරීමේ මාර්ග පාදාදීමෙන්, ඖෂධ නියමයෙන් ඔවුන්ට සැනසිල්ල උදාකර දීම ඊට අයත් කාර්යය වේ. ජීවිතය රස්සා කරන්නේ ද වෘත්තියයි. බෞද්ධ දර්ශනයට අනුව මනස ද ඉන්ද්‍රියකට අයත් වේ. සෑම කලා මාධ්‍යකින්ම උද්වහනය වන රසය ඉඳුරන් සයටම ගෝචරය. එබැවින් ශ්‍යාමයන්ට තවත් පසෙකින් කලා ජීවිතයක් ද ඇත. ඒ ඔහු තෝරාගෙන ඇති නිර්මාණාත්මක ලේඛනයයි. කලාවේ ස්වභාවය පෙන්නුම් කරන්නේ රමණීයත්වය හා සත්‍යය සංයෝග වූ විට යැයි ප්‍රසිද්ධ විද්වත් ප්‍රකාශනයකි. කිනම් ජන සංස්කෘතියකට අයත් වන සමාජ සන්දර්භයක් තුළ වුව ද, ජීවදායක ගුණයෙන් මෙන්ම ජීවනාශක ගති සිරිත් වපුරන මිනිස්සුන්ගෙන් ද අඩුවක් නැත. මෙම නවකතාව තුළ නිරූපිත සමාජය තුළ ද, එවන් පිළිබිඹුවක් ප්‍රතීයමාන වේ.

සරසවි වෛද්‍ය ශිෂ්‍යයකු වූ කලණට ලැබෙන දීර්ඝ නිවාඩුව ගත කිරීමට සිය පියාගෙන් ලද උපදෙස් පරිදි, ඔහු තෝරා ගන්නේ ස්වේච්ඡා ගුරු සේවයකි. හේන් ගොවිතැන හැර ජීවත්වීමට කිසිදු මාර්ගයක් නොමැති, අතිශය දුෂ්කර ශුෂ්ක කලාපයක ජීවත්වන මිනිසුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන, පහසුකම් යැයි කිව හැකි කිසිවක් නොමැති අව වරප්‍රසාදිත පාසලක කලණ ගුරු සේවයට කැපවන්නේ, එම දරුවන් කෙරේ පවත්නා අසීමිත සානුකම්පික හැඟීමෙනැයි පාඨකයාට අවබෝධ වේ. ඉගෙනීම කෙසේ වෙතත් ජීවත්වීම පවා සටනක් වූ දුප්පත්කමින් පරිපීඩිත දරුවන්ගේ මානසිකත්වය එක අරමුණකට ගෙන එමින්, ඉතා කෙටි කාලයක් තුළ සියලු අභියෝග ජයගෙන ජීවිතය ජයගැනීමේ මාවත පාදා දීමට කලණ සමත්වන අයුරු නවකතාවේ විස්තාරණය වීම අපූරුය. එම අපූර්වත්වය නවකතාවේ අන්තර්ගතය පුරා වඩාත් ඔප් නංවා ඇත්තේ, රිදී හුයක් මෙන් වරින් වර උස් පහත් වන සැඟවුණු ප්‍රේම සම්බන්ධයක චමත්කාරය ද විශද කරවමින් ය. එය යොවුන් වසන්තයක චමත්කාරයයි. එහි කේන්ද්‍රීය චරිතය සුනේත්‍රාය. කලණගේ ශිෂ්‍යයකු වූ දසුන්ගේ ආදරවන්තිය ද සුනේත්‍රාය. කලණ දසුන් හා සුනේත්‍රා මුණගැසෙන ත්‍රිකෝණමිතික ප්‍රේම සබඳතාව තුළ කලණ බෝසත් ගුණයෙන් යුතු ප්‍රේමවන්තයෙකු නොවීමට තරම්, තවත් අතෙකින් විරාගයේ අරවින්ද කෙනකු නොකිරීමට තරම් විනිවිදභාවයක කලණගේ භූමිකාව රඳවා තිබීම වෙසෙසින්ම පැසසුම් කටයුතුය.

අවසාන වශයෙන් කිව යුත්තේ, කලා නිර්මාණවල නිමග්න වන්නා වූ නිර්මාණකරුවන්ගේ ජීවන දෘෂ්ටිය, හුදෙක් කලාවේ අරමුණු හා පරමාර්ථ ජයගැනීම සඳහාම විවර වූ උත්තම ආස්ථානයක පිහිටිය යුතුය යන්නය. ග්‍රාහකයා තුළ යථාර්ථය ඥානනය කරවීම, මානව හැඟීම් ශික්ෂිත කිරීම, ඔහුගේ ඥේය මණ්ඩලය සේම මනෝභාව මණ්ඩලය ද ප්‍රසාරණය කිරීම යන කාරණා කලාවෙන් ඉෂ්ට සිද්ධ කිරීම යහපත් කලාවේ සිව් වැදෑරුම් ලක්ෂණ යැයි මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ නිරීක්ෂණවල සඳහන්වේ. ශ්‍යාම කුමාර මුණසිංහයන්ගේ ‘ජැස්මින්‘ නවකතා නිර්මාණය තුළින් ඔහු එවන් පරමාර්ථයක් විඳ ගැනීමට උත්සුක වූයේ නම්, එය ප්‍රමාණවත් තරමකට සාර්ථක වී ඇති බව අවංකව ප්‍රකාශ කරමි.

‘ජැස්මින්’ සුවඳ සිත කය පුරා වින්දනය කෙළෙමි

● ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙණිය

advertistmentadvertistment
advertistmentadvertistment