‘සිංහබාහු’සිනමා සිත්තම මහා වංශයට අර්ථකථනයක් සිනමාවට නව්‍යකරණයක්…

193

මහා වංශය අනුරාධපුර මහා විහාරබද දික්සඳ සෙනෙවියා පිරිවෙන් මාහිමි මහානාම තෙරුන් වහන්සේ ආරම්භ කරන ලද්දක් බව සඳහන් ය. බුද්ධ ශ්‍රාවක පරම්පරාව හෝ මහා සම්මත නරේන්ද්‍රාදීන්ගේ පරම්පරාව මහා වංශය යැයි පවසනු ලබන බව ද එහි සඳහන්ය. මෙහි කතුවරයා බුද්ධශ්‍රාවක හෝ නරේන්ද්‍රාදීන්ගේ පරම්පරාවට එහා ගිය සිංහල ජාතියේ ආරම්භය පිළිබඳව ද කරුණු ගවේෂණය කිරීමට අමතක කර නැත. ග්‍රන්ථය ආරම්භ කර ඇත්තේ බුද්ධ වංශය මුල් කරගෙන වන අතර සියලු බුදුවරුන්ගේ නාමයන් ඊට ඇතුළත් කර ඇත. බුදුන්වහන්සේ යක්ඛ දමනය සඳහා ලංකාද්වීපයට වැඩම කළ කතා පුවත ද ප්‍රථම පරිච්ඡේදයේ ම සඳහන් කර ඇත.

එහි හය වන පරිච්ඡේදය වෙන්කර ඇත්තේ සිංහලයාගේ ආරම්භය සනිටුහන් කිරීමටය. වගු රට රජකුට දාව කලිඟු රජුගේ දුවක් බිහි කළ, සුප්පා දේවී සිංහයකු හා දිවි ගෙවමින් දරුවන් දෙදෙනකු බිහි කළ කතා ප්‍රස්තූතයක් ඊට ඇතුළත් කර ඇත. වසර 2600කට පෙර සිදු වූවා යැයි කියන මෙම කථා වස්තුව කිතුනුවන් බයිබලය කෙරෙහි මෙන්, මුසල්මානුවන් කුරාණය කෙරෙහි මෙන් දක්වන විශ්වාසයනට සම වන පරිදි සිංහලයන් ද ඇදහීමට ලක්කර ඇත. එහි අභව්‍යයමය ස්වභාවය පිළිබඳ විවේචනය කිරීමක් නොව කතා කිරීමට ද අකමැත්තක් හෝ බියක් පවතී.

ඉන්දු ආර්ය ශිෂ්ටාචාරය තුළ සිංහ සලකුණට තිබූ වැදගත් තැන නිසා ම මයුර අධිරාජ්‍ය යුගයේ දී නිර්මාණය වූ අශෝක ස්ථම්භයේ සිංහයන් හතරදෙනකු සහිත ප්‍රතිමාවක් නිර්මාණය කොට ඇත. අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ පටන් ඉන්දීය රාජ්‍ය ලාංඡනය ලෙස සතර දෙසට හැරී සිටින සිංහයන් හතර දෙනකුගේ ප්‍රතිමාව භාවිත කර ඇත. වර්තමානයේ ඉන්දීය රාජ්‍ය ලාංඡනය වී ඇත්තේ ද එයම වන අතර ඊට ඇතුළත් ආදර්ශ පාඨය වන්නේ “සත්‍ය පමණක් ජයග්‍රහණය කරයි” (Truth Alone Triumphs) යන්නයි. එනම් සිංහයා ගෙන් සංකේතවත් කරන්නේ සත්‍යය යි. සිංගප්පූරුව මෑත කාලයේ සිට සිංහ ඔළුවක් සහ මත්ස්‍ය ශරීරයක් ඇති ප්‍රතිමාවක් කල්පිතයක් ලෙස නිර්මාණය කරගෙන ඇත.

නූතන මානව ශිෂ්ටාචාරයට පෙර මානවයා සතා සිවුපාවුන් සිටින වනඅරණ ආශ්‍රය කොටගෙන ජීවත් විය. වනයේ සිටින වඩාත් ම ශක්තිමත් සහ පෞරුෂයෙන් යුත් වික්‍රමාන්විත සත්වයා සිංහයා වේ. සිංහ+බාහු යනුවෙන් සරලව අර්ථ ගැන්වෙන්නේ සිංහයකුට බඳු ශක්තිමත් බාහු නැතහොත් දෑත් ඇත්තකු යන්නයි. ක්‍රි.පූ. 543 දී ලංකාවට පැමිණි විජය කුමරුගේ ආරම්භය සොයා ගිය මහාවංශ කතුවරයා සිංහයකුට හා මිනිස් දියණියකට දාව උපන් සිංහබාහු සහ සිංහ සීවලී කතා වස්තුව කල්පිතයක් ලෙස නිර්මාණය කර ඇත. දිගු කාලයක් තිස්සේ මහාවංශය අප සමාජය ඇදහූ මාර්ගෝපදේශයක් බවට පත්ව තිබුණේ එමගින් බුදු දහමට ලබා දී තිබූ ප්‍රමුඛතාව නිසා සහ ඉතිහාසය පිළිබඳ වඩාත් පැහැදිලි සාක්ෂි ඒ තුළ ගැබ්ව තිබූ නිසා ය. එහෙයින් අවශේෂ කරුණු ද කල්පිතයන් වුවත් අභියෝගයට ලක් කිරීමට සමාජය තුළ ඉඩක් නොතිබුණි. වත්මන් දියුණු සමාජයක ජීවත්වන පරම්පරාව තවදුරටත් මිත්‍යාව හෝ කල්පිත මත විශ්වාස තැබීමට සූදානම් නැත. එහෙත් සිංහලයාගේ ආරම්භය පිළිබඳව දත්ත එකතු කිරීම ද කළ නොහැක්කකි. මානවයාගේ ආරම්භය පිළිබඳව විවිධ ආකල්ප සහ න්‍යාය ඉදිරිපත් කර ඇතත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව එය දස අව්‍යාකෘත ප්‍රශ්නවලින් එකකි. එනම් ඊට පිළිතුරු සෙවීම කළ නොහැක. පිළිතුරක් සොයාගත්ත ද ඉන් ඵලක් නොමැත.

කෙසේ නමුත් සිංහබාහු කතා පුවත මහා වංශයේ එන ඉතිහාස කතාවකි. ප්‍රබන්ධයකි. එහෙත් වර්තමාන විද්‍යාර්ථීන් එය සුළු කොට තකා නොමැත. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සිංහබාහු කතා පුවත නාට්‍යයකට නඟන ලද නමුත් සාම්ප්‍රදායික මතවාදයට එරෙහිව නොයෑමට වගබලාගෙන ඇත. එම නිසා ඔහු එය ඉතිහාස කතාවක් ලෙස නොව සාහිත්‍යමය නිර්මාණයක් ලෙස සලකා සිංහබාහු නාටකට නිර්මාණය කළේය. ඒ තුළ ඔහු ඉතා සාරගර්භ ලෙස අඹුසැමි ප්‍රේමය සහ දාරක ප්‍රේමය පිළිඹිබු කරන අතරම පිය සෙනෙහස මනුස්සකට ම සීමා නොවූ තිරිසන් සත්වයන් තුළ ද පිරී ඉතිරී ගිය ගුණාංගයක් ලෙස පෙන්වා ඇත. එහි උච්චතම අවස්ථාවක් සාර්ථක ලෙස නිරූපණය කිරීමට මහාචාර්ය සරත්චන්ද්‍රයන් එම නිර්මාණය මගින් සිදු කර ඇත.

සමාජය තුළ මහා වංශ කතාව නිසා සිංහල ජාතියට එල්ල වී ඇති අවමන් සහගත සහ පිළිකුල උපදවන තත්ත්වයට පිළිතුරු සෙවීමට කිසිවකු උත්සාහ දරා නොමැත. ආචාර්ය සෝමරත්න දිසානායකයන් ඒ සඳහා දරා ඇති උත්සාහය සාර්ථක එකක් ද නැතහොත් අසාර්ථක එකක් ද යන්න සොයා බැලීම වැදගත් වේ. ඇත්ත වශයෙන් ම සිංහල වංශයේ ආරම්භය සිදු වූයේ සිංහයකුගේ හා මානවිකාවකගේ අඹුසැමි සබඳතාවක් නිසාවෙන් ද? දෙවනුව සිංහබාහු සහ සිංහසීවලී යන සහෝදරයා සහ සහෝදරියගේ අඹුසැමි සබඳතාවක් නිසා විජය සහ සුමිත්‍ර උපදින ලද්දේ ද? මේ ප්‍රශ්න දෙකට මහා වංශයේ ඇති පිළිතුරු ජුගුප්සාජනක ය. එය මානව වංශයක් ලෙස සිංහලයන් වෙත එල්ලවන අපකීර්තියකි. එය නිවැරදි විය යුතුය. එහෙත් ඉතිහාසය වෙනස් කිරීමට සාක්ෂි අවශ්‍ය වේ. එය ප්‍රායෝගික නැත. එහෙත් සාහිත්‍යය ඊට යොදා ගතහැක. එම සාහිත්‍ය නාට්‍ය, සිනමා, ගීත, කාව්‍ය වැනි මාධ්‍යයක් වියහැක. ආචාර්ය සෝමරත්නයන් සිනමා කෘත්‍යයක් හරහා එය සිදු කිරීමට උත්සාහ දරා ඇත. ඒ තුළින් ඔහු පෙන්වා ඇත්තේ එසේ ද විය හැකිය යන්නයි. එසේ නොවන්නට ද හැකිය. නිර්මාණයන් කල්පිත මත ගොඩනැඟිය හැක. ඊට විකල්ප කල්පිත ද පැවතිය හැකිය. එය විවිධාකාර දිශානතීන් වෙත විකාශය වීමට ද හැකිය.

භාෂාව සහ කලාව සජීවී ඒවා විය යුතු ය. අලුත් දේ බිහි නොවුණහොත් ඒවා ද අජීවි බවට පත් වී එක තැන පල් වේ. එය හොඳ තත්ත්වයක් නොවේ. සිංහයා යනු එකල පැවැති ගෝත්‍රයකි. බුදුන්වහන්සේ මහියංගණයට වඩින ලද්දේ යකුන් දමනයට යන්න මහා වංශයේ සඳහන් ය. එසේ සඳහන් වන්නේ එකල ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන් සම්බන්ධයෙන් මිස කල්පිත වූ යක්ෂ කොට්ඨාසයක් ගැන නොවේ. එකල ලංකාද්වීපයේ යක්ෂ, දේව සහ නාග යන ජන කොටස් ජීවත් බවට සාක්ෂි ඇත. සමහරු ඒවා ගෝත්‍ර ලෙස හඳුන්වයි. යම් ජන කොට්ඨාසයක් ගෝත්‍රික යැයි පවසනුයේ එකල පවතින ශිෂ්ටසම්පන්න යයි පිළිගනු ලබන ජන කොට්ඨාසයක් සමග සංසන්දනය කිරීම මගිනි. එකල මෙරට පැවැති එම ජන කොට්ඨාසයන් ගෝත්‍රික වන්නේ කුමන ජන කොට්ඨාසයක් සමග සංසන්දනය කිරීම මගින් ද යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නැත.

බුදුන්වහන්සේ ආලවක යක්ෂ නායකයා දමනය කර ධර්මය දේශනා කළ ආකාරය බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. ආලවක බුදුන් වහන්සේ ගෙන් අසා ඇති ප්‍රශ්න දහය දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ ආලවක සාමාන්‍ය මිනිසකුගේ බුද්ධිය ඉක්මවා ගිය ඉතා බුද්ධිමත් තැනැත්තකු බවයි. ඔහු ද යක්ෂ නම් ගෝත්‍රික ජන කොටසක නායකයකු මිස පන්සල්වල බිත්තිවල අඹා ඇති යක්ෂයකු නොවේ.

සාහිත්‍ය නිර්මාණයක් මගින් ඉතිහාසය නිවැරදි කරන ලෙසට ආචාර්ය සෝමරත්නයන් ආයාචනා කරන බවක් මෙම සිනමා නිර්මාණය බලන ප්‍රේක්ෂකයකුට දැනෙනු ඇත. අභව්‍යමය සිද්ධියක් සම්භාව්‍ය ලෙස යථාරූපී කිරීමට දරන උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා රංගන ශිල්පීන් ලෙස යශෝධා විමලධර්ම, අකිල ධනුද්ධර සහ සජිත අනුත්තර ලබා දී ඇති දායකත්වය ද අගය කළ යුතුව ඇත. නවක රංගන ශිල්පිනියන්ගේ දායකත්වය ද පැසසුමට ලක්විය යුතු ය. සිනමා සිත්තමේ සන්නිවේදනය වඩාත් උද්දීපනය කිරීම පිණිස සෝමරත්නයන් විසින් ම කාව්‍යමය භාෂාවක් යොදාගැනීම මෙවන් නිර්මාණයකට වඩාත් උචිත යැයි හැඟේ. සිංහබාහු නාට්‍යයට ද මහාචාර්ය සරත්චන්ද්‍රයන් කාව්‍යමය ශෛලිය එකතු කර තිබුණි.

ඉතිහාසය අන්ධ භක්තියෙන් පිළිගනු ලබන්නකුට මෙම නිර්මාණය එතරම් ප්‍රියසහගත නොවනු ඇත. එහෙත් ඉතිහාසය යථාර්ථවාදී එකක් වියයුතු යැයි සිතන්නකුට උකහා ගතහැකි බොහෝ දේ මෙහි ඇත. සමස්තයක් ලෙස ගත් කල මෙය ඉතා සාර්ථක සිනමා නිර්මාණයකි. ආචාර්ය සෝමරත්නයන් පවසන පරිදි ජැක්සන් ඇන්තනී රංගධරයාට සිංහයාගේ චරිතය රඟපෑමට දෛවය විසින් ඉඩ සලසා දී තිබුණේ නම් මෙම නිර්මාණයේ වටිනාකම තවත් ඉහළ මට්ටමකට ගෙන යා හැකිව තිබුණේය යන්න මාගේ ද හැඟීම වේ.

‘සිංහබාහු’සිනමා සිත්තම මහා වංශයට අර්ථකථනයක් සිනමාවට නව්‍යකරණයක්…

● ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment