ඔබේ විදේශ ගතවීම කේන්දරේ ලියා තිබේ

4108

රැකියා සඳහා හෝ පදිංචිය සඳහා හෝ ඉගෙනුම සඳහා වෙනත් හේතුවක් සඳහා යමෙකුට විදේශ ගත වීමට හැකි ද කියා ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම මගින් සොයා ගත හැකිය. ඒ කුමන කාලයේ ද, කුමන ලෙසද, කරදර වේද කියා සොයා ගත හැකිය. වර්තමානයේ විදේශ ගත වෙන පිරිස ඉහළ ගොස් ඇති අතර එය අපේක්ෂාවෙන් ඉන්න පිරිස ද බොහෝය. දිනපතා එවැනි අය කේන්ද්‍ර පරීක්ෂා කර ගැනීමට අප වෙත පැමිණෙති. ඒ සැම දෙනාටම විදේශ ගත විය නොහැක. ඊට ජන්ම පත්‍රය තුළ සුදුසු ග්‍රහ පිහිටීම් තිබිය යුතුය. එසේම විදේශ ගත විය යුත්තේ කුමන කාලයේ ද, කුමන රටවල්වලට ද කියා සොයා බැලිය යුතුය.

මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යන රාශි ජන්ම රාශිය වූ අයට උත්තර අර්ධ ගෝලයේ රටවල්වලටද ද, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන රාශි ජන්ම රාශිය වූ අයට දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල්වලට ද යෑම සුබදායී වේ. එසේම යම් කෙනෙක් විදේශ ගත වූ පසු එරටට අදාළ අක්ෂාංශ, දේශාංශ අනුව ඔහුගේ ජන්ම පත්‍රය සකසා ගැනීම වැදගත් ය. එය සංක්‍රමණික කේන්ද්‍ර ලෙස හඳුන්වයි. යම් අයකුගේ සංක්‍රමණික කේන්ද්‍රයේ 08 වන භාවය ඔහුගේ ජන්ම කේන්ද්‍රයේ ලග්න රාශිය වුවහොත් ඔහුට ආපසු ඒමට ඉඩ නැත. මරණය විදේශය තුළය.

විදේශ ගතවීමට හැකි කුමන ග්‍රහ පිහිටීම් දැයි බලමු. එහිදී ජන්ම පත්‍රයේ 03,04,09,12, භාව ගැන හා ගුරුගේ පිහිටීම, ධනු, මීන රාශිවල තත්ත්වය සොයා බැලිය යුතුය. එසේම රවි, කුජ, සඳුගේ පිහිටීම 04 අධිපතිගේ පිහිටීම රාහුගේ පිහිටීම වැදගත් ය. චර රාශිවල ග්‍රහයන් වැඩි දෙනෙක් සිටීම සුබ ය. චර රාශි යනු චංචල රාශි ය. මේෂ කටක තුලා මකර චර රාශි වේ. මිථුන කන්‍යා ධනු මීන යන උභය රාශිවල ග්‍රහයින් බහුතරයක් තැන්පත් වීම මධ්‍යස්ථ වේ. තිර රාශි 03,04,09,12 වීම හෝ තිර රාශි අධිපතින් එම භාව තුළ සිටීම විදේශ ගත වීමට බාධා කරයි. නමුත් වෘශ්චික රාශිය අදාළ භාවයක් වී එහි සුබයන් සිටීම විදේශ ගත වීමට සුදුසු වේ.

09 වන භාවය තුළින් මුහුදු හා ගුවන් ගමන් පෙන්නුම් කරයි. 03 වන භාවය තුළින් කෙටි ගමන් පෙන්වයි. සඳුගේ දෘෂ්ටිය යුරේනස්ට වැටේ නම් දෙදෙනාම හෝ කෙනෙකු 01,03,09 භාවයක සිටී නම් නිතර විදේශ ගමන්වල යෙදේ. 01,03,09 භාවයක් චර රාශියක් වී එහි සඳු හෝ කුජ සිටීම තුළ දීර්ඝ ගමන් යෙදේ. 03,09 අධිපතින් සුබ ග්‍රහයන්වී සඳු එම ග්‍රහයින්ට දෘෂ්ටි හෙළයි නම් ඉතා සාර්ථක විදේශ සංචාර යෙදේ.

දුබල නොවී පාප දෘෂ්ටිවලට හසු නොවී ගුරු හෝ සිකුරු 03,09 ස්ථානයක සිටින අය සාර්ථක විදේශ සංචාර, විදේශ රැකියා කරයි. නමුත් 09 වැන්නේ ශනි, කුජ, යුරේනස් ගෙන් කෙනෙක් වේ නම් විදේශ හිදී කරදර වේ. ශනි, කුජ, යුරේනස් ගෙන් කෙනෙකු හෝ කීපදෙනෙකු 09 සිට එම රාශිය ජල රාශියක් වූ කල විදේශ ගමන්වලදී මුහුදේදී කරදර වේ. අනතුරුවලට ලක්වේ. වායු රාශි 03,09,12 වූ විට පහසුවෙන් ගුවන් මගින් විදේශ ගත වීමට යෝග සාදයි. සෙනසුරු මකර, කුම්භ, තුලා, රාශි ගතව බලවත්ව සිටින අය විදේශ ගත වුවද මව් රටට ඉක්මනින් පැමිණේ. රවි මේෂ සිංහ රාශියක සිටිනා අය දිගු ගමන්වලට උනන්දු නැත. යුරේනස් කුජ, බුධ, සඳු, 09,12 භාවයකට සම්බන්ධ වී බලවත් වුවහොත් විදේශ ගත වේ. සිකුරු 09,12 බලවත් වූ විට ව්‍යාපාර සඳහා හෝ විනෝදය සඳහා විදේශ ගත වේ. එසේම රාහු දශාව ලැබීම, රාහු 02,01,12 සිටීම රාහු ගෝචරෙන් 04,01,12 පැමිණීම විදේශ ගත වීමට මාර්ගය ඇති කරයි. යමකුගේ 03,04 බලවත් නම් විදේශවලදී කරදර වේ.

මෙවැනි ග්‍රහ පිහිටීම් මගින් විදේශ ගත වීම, නොවීම හෝ සාර්ථක අසාර්ථක වීම සොයා ගත හැකිය.

ලත්පඳුරේ පී. ඩී. දිශාන්ත අජිත්
ජ්‍යොතිෂපති, වාස්තු උපදේශක ජ්‍යොතිෂවේදී

advertistmentadvertistment
advertistmentadvertistment