වෙඩි නොවදින ළමයි සමඟ කාලය ගෙවන ඉස්කෝලෙ ටීචර්

373

වෘත්තීයමය නිළියක් වෙන්න අදහසක් නෑ

‘හෝ ගානා පොකුණ. චිත්‍රපටය අධ්‍යක්‍ෂණ කළ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන ‘වෙඩි නොවදින ළමයි. සිනමා කෘතිය හරහා මෙරට රිදී තිරයට තවත් අලුත් මුහුණක් හදුන්වා දෙනවා. ඇය මෙම නිර්මාණයේ තාරුකාගේ චරිතයට ජීවය දෙන ප්‍රබෝදිනී චන්ද්‍රසේන. මේ ඇයගේ වතගොත.

කවුද මේ තාරුකා?

තාරුකා කියන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන මහාචාර්යතුමාගේ නවතම සිනමා නිර්මාණය වන වෙඩි නොවදින ළමයි චිත්‍රපටයේ රංගනයේ යෙදෙන පෙම්වතියගේ චරිතය.

ඇත්තටම තාරුකා කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. දැනට වෘත්තීයමය වශයෙන් ගුරුවරියක් විදිහට සේවය කරනවා.

වෙඩි නොවදින ළමයි සමඟ කාලය ගෙවන ඉස්කෝලෙ ටීචර්

එතකොට ප්‍රබෝදිනීට තාරුකාව මුණගැසෙන්නේ කොහොමද?

තාරුකාව මට හම්බවෙන්නේ සරසවියෙන් ඉවත්වෙනවත් එක්කමයි. කැම්පස් එකේ සර් කෙනෙක් තමයි මට කිව්වේ” අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරනවා” ඒකෙ අධ්‍යක්‍ෂවරයා ෆර්ඩි ස.ර් කියලා. ඊට පස්සෙ තමයි මට අවස්ථාව හම්බවෙන්නේ.

තාරුකාට දුන් ජීවය ගැන මොකද හිතෙන්නේ

චිත්‍රපටය නැරඹුවාට පස්සෙ හරිම සතුටක් දැනුණා. චරිතයට මට පුළුවන් උපරිම සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා.

කොහොමද ප්‍රතිචාර?

ඇත්තටම ලැබෙන ප්‍රතිචාර හොඳයි. මමත් හිතුවෙ නැහැ” ඒ වගේ ප්‍රතිචාර ලැබේවි කියලා.

මේක ප්‍රබෝදිනීගේ පළමු සිනමා අත්දැකීම නේද?

ඔව්. වෙඩි නොවදින ළමයි කියන්නේ මගේ පළමු සිනමා අත්දැකීම.

ප්‍රබෝදිනී වෘත්තියෙන් ගුරුවරියක්?

ඔව්. මම වෘත්තියෙන් ගුරුවරියක්. මම නාට්‍ය හා රංග කලාව විෂයය තමයි උගන්වන්නේ. දැනට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක සේවය කරනවා.

රංගනයත් වෘත්තියක් විදිහට කරන්න අදහසක් තියෙනවාද?

නැහැ. මට වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැහැ. මගේ උසස් අධ්‍යාපන කටයුතු සියල්ල කොළඹ අවට තමයි සිද්ධ වුණේ. ඇඹිලිපිටියේ ඉඳලා කොළඹ එන ගමනේ මට ලොකු අපහසුවක් තිබුණේ නෑ. නමුත් මම විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගත්තෙත් රංගනය කියන විෂයමයි. ඒ අනුව මම වෙනම වෘත්තියක යෙදෙන ගමන් තමයි” කලා කටයුතු එක්ක මේ විෂයයන් දෙකම සමබරව කරගෙන යන්න කැමැති. නැතිව වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙනවා කියන තැන මම නැහැ.

මහාචාර්ය ඉන්දික වගේ අධ්‍යක්‍ෂවරයකු යටතේ මුල්ම රංගනය කරන්න ලැබීම ගැන කතා කළොත්?

ලේසියෙන් කෙනකුට ලැබෙන්නේ නැති අවස්ථාවක් මට හම්බවුණේ. ඒක ගැන ඉතාම සතුටුයි. සර් එක්ක වැඩකරපු දවස් 42 සෑහෙන දේවල් ඉගෙන ගත්තු කාලයක්.

ප්‍රබෝදිනී කියන්නේ අධ්‍යක්‍ෂවරයා තාරුකාට තෝරපු 51 වැනි නිළිය?

සර් මාව තෝරාගැනීමට ප්‍රධාන වෙච්ච හේතු කාරණා දෙකක් තමයි අධ්‍යාපන වටපිටාව සහ විෂයයත් එක්ක තිබුණු දැනුම. විෂය ඉගෙන ගත්තු කෙනෙක් වීම එක කාරණයක්” චරිතයට ගැළපීම තව කාරණයක්. මම හිතනවා සර් මාව විශ්වාස කරන්න ඇති කියලා. 51 වැනියාට මාව තේරීම ගැන ඇත්තටම සතුටුයි.

නළු නිළියෝ 26 ක් එක්ක රාත්‍රි 41 ක් බස් එකක් ඇතුළෙ ගෙවපු අත්දැකීම මොන වගේද?

රූගත කිරීම් වැඩිහරියක් සිද්ධවුණේ රාත්‍රි කාලයේදී. සවස 6.00 ට පටන් අරගෙන උදේ 6.00 වනතුරු ෂූටින් තිබුණා. මුලදී නම් හැමෝටම වගේ අපහසු කටයුත්තක් වුණා එකදිගට නිදිවරනවා කියන එක. නමුත් ඒකට හුරුවුණා. මගේ පළමු අත්දැකීමත් එක්ක ඒක මට අමුතු දෙයක් වුණා.

ෂූටින්වලදී අමතක නොවන සිදුවීම්?

රාත්‍රි 41 ක් ෂූට් කරනවා කියන එකම අමතක නොවන අද්දැකීමක්. දවස් 41 ක් එළිවෙනකම් නිදිවැරුවා.

තාරුකාගේ පිටපත අතට ලැබුණු වෙලේ ඇතිවුණ හැඟීම?

ලොකු වගකීමක් පැවැරුණා කියන හැඟීම තමයි හිතට ආවේ. තව මම මේකට සාධාරණයක් කරන්න ඕනෑ කියන හැඟීමත් හිතට ආවා.

මියගිය ළදරුවා හමුදා මුරපළින් එළියට රැගෙන යෑමට දරන උත්සාහයේ දර්ශනය සුවිශේෂයි?

වෙඩි නොවදින ළමයි සමඟ කාලය ගෙවන ඉස්කෝලෙ ටීචර්

ඒ දර්ශනය මගේ චරිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. එතැනට තමයි මට හැමෝගෙන්ම ඉහළ ප්‍රතිචාර ලැබුණේ. ඒක හරි අවබෝධයෙන් කරපු දර්ශනයක්.

තවත් නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවද?

තවම නැහැ. මම” චිත්‍රපටය රූගත කිරීම් සිදුකරලා අවසන් වෙනවාත් සමඟ නැවත මගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. ඒවත් එක්ක තමයි මගේ කාලය ගතවුණේ. ඊට පස්සෙ තමයි මම ගුරු වෘත්තියට යොමු වුණේ.

ගෙදරින් මොනවද කිව්වේ?

ගෙදරින් සහයෝගය කියන එක අපිට කොහොමත් ලැබෙන දෙයක්නේ. එක දිගටම මාස එකහමාරක් රූගත කිරීම් තිබෙනවා කිව්වහම ගෙදර අයට පොඩි තිගැස්මක් ආවා. නමුත් අවසානයේ ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන්ට චිත්‍රපටය නැරඹුවාට පසුව ලොකු සතුටක් දැනුණා.

ඔබේ පවුලේ විස්තර ගැන කිව්වොත්?

මගේ අම්මයි” තාත්තයි” අයියයි” මමයි” අම්මා ගුරුවරියක්. තාත්තා ග්‍රාමනිලධාරිවරයෙක්. ඒ දෙන්නම දැනට විශ්‍රාමිකයි. මගේ අයියා මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. එයා දැනට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩකරනවා.

නාට්‍ය හා රංග කලාවෙන් ඉදිරියට එන්න හිතුවේ ඇයි?

නාට්‍ය හා රංග කලාව කියන්නේ අපි හිතන පතන විදිහ. අපිට ඒක ඇතුළේ තිබෙන අධ්‍යයන පරාසය සහ හැම වෙලාවෙම අප්ඩේට් වන විෂයයක්. ඒ නිසා තමයි මම ඒ විෂයයට කැමැති වුණේ.

ගුරු වෘත්තියේ අත්දැකීම ගැන කතා කළොත්?

මගේ පාසලේ මීට කලින් නාට්‍ය හා රංග කලාව තිබුණේ නෑ. ඒ නිසා දරුවන්ට ඒක අලුත් විෂයයක් වුණා. දරුවන් සමඟ වැඩකරන කාලසීමාව ඉතාමත් තෘප්තිමත්.

මහේෂ් එදිරිසිංහ
ඡායා – හසිත නිලුපුල්

advertistmentadvertistment
advertistmentadvertistment