මහනුවර පාස්පෝට් ගෝරි! – දිනකට දෙන්න පුළුවන් 200 යි

231

නිලධාරීන් 10 ක් කොළඹත් හිඟයි – ආගමන විගමන පාලක

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට ඊයේ (28දා) ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූවත් එම කාර්යාලයෙන් දිනකට නව ගමන් බලපත්‍ර ලබාදිය හැක්කේ 200 දෙනකු පමණ පිරිසකට යැයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දිවයිනට ඊයේ (28දා) පැවසීය.

ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට හෝ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ ඕනෑම අයකුට බලපත්‍ර ලබාගත හැකි පහසුකම් පැවැතියත් මහනුවර කාර්යාලයේ ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම සඳහා සිටින්නේ බලයලත් එක් නිලධාරියකු බවද ඔහු කීය. කොළඹ කාර්යාලයේද බලපත්‍ර ලබාදීම සඳහා අනුමැතිය ලබාදිය හැකි ශ්‍රේණියේ නිලධාරීන් 10 දෙනෙකුගේ අඩුවක් පවතින බවත්, ඉන් 05 දෙනකු ලබාදෙන බවට දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතත් එම නිලධාරීන් මේ වනතෙක් ලැබී නැති බවත් ඔහු කීය. මීට අමතරව දෙපාර්තමේන්තු නිලධාරීන් 07 දෙනකුගේ හිඟයක් කොළඹ පවතින බවද ඔහු කීය.

මහනුවර කාර්යාලයේ කාර්ය මණ්ඩලය වැඩි කරගෙන යෑමේ හැකියාවක් දෙපාර්තමේන්තුවට නැතැයි ද ඔහු කීය.

මේ අතර නව ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස චෝදනා කළේ සංවිධානාත්මක තැරැව්කරුවන් පිරිසක් එක්වී දිනකට ලබාදෙන විදෙස් ගමන් බලපත්‍ර අයදුම් පත්‍ර ලබාගෙන වැඩි මුදලකට විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවය.

එමෙන්ම මහනුවර කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙළ ද මේ තත්ත්වය ඇතිවීමට ඉවහල්වන බවට ද ඔවූහු චෝදනා කළහ. ඇතැම් පිරිස් චෝදනා කළේ පෝලිමේ රැඳී සිටින තැරැව්කරුවන්ට එම කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සහය ලැබෙන බවය.

චමින්ද සිල්වා – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment