මවගේ අනියම් සැමියා මැරූ දෙදරු පියා පෝරකයට

850

මවගේ නොමනා හැසිරීමෙන් මට මරණ දඬුවම හිමිවුණා – චූදිතයා විත්ති කූඩුවේ හඬා වැටෙයි

වසර 08කට පෙර හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේදී හෙල්මට් එකකින් පහරදී දෙදරු පියෙකු මැරූ 30 හැවිරිදි දෙදරු පියෙකුට හම්බන්තොට මහාධිකරණය පෙරේදා (13 දා) සවස මරණීය දණ්ඩණය නියම කෙරුණි.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ උඩමලල, හම්බන්තොට ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. සංජීව ගුණසේකර නමැති 30 හැවිරිදි දෙදරු පියෙකුටය. චූදිත පුද්ගලයා, සිය මවගේ අනියම් සැමියා බව කියන වැලිගත්ත, බඳගිරිය පදිංචි දෙදරු පියකු වූ සැම්සන් වන්නිගම නමැති අය සමග 2015.04.03 වන දින ආරවුලක් ඇති කරගෙන තිබුණි. එම ආරවුල ඇතිව තිබුණේ චූදිත පුද්ගලයා තවත් ඥාති පුද්ගලයකු සමග මරණකරුගේ නිවසට ගොස් සිය මව සමග ඇති අනියම් සබඳතාව නවත්වන ලෙසට ඉල්ලීමක් කිරීමට ගොස් තිබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී මරණකරු හා චූදිත පුද්ගලයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර එය දුරදිග ගොස් චූදිත පුද්ගලයා විසින් ඔහු අතෙහි වූ හෙල්මට් එකකින් මරණකරුට පහරදී තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු මියගොස් තිබේ. ඒ අනුව එම සිද්ධියට අදාළව ඒ වනවිට 22 හැවිරිදි වියේ පසු වූ චූදිත පුද්ගලයා හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිත පුද්ගලයාට හා ඔහු සමග එම අවස්ථාවට ගිය ඥාති පුද්ගලයාට එරෙහිව 2017.12.22 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද යටතේ අධිචෝදනා ගොනු කරන ලදී. එහිදී ඉදිරිපත් වූ සියලු සාක්ෂි සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා පළමු චූදිත වූ ඩබ්ලිව්. ඒ. ආර්. සංජීව නමැති අයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොතිබීම හෙයින් පළමු චූදිත අදාළ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කෙරුණි. දෙවැනි චූදිත වූ ඩබ්ලිව්. සංජීව ගුණසේකර නමැති 30 හැවිරිදි පුද්ගලයාට එරෙහිව පැමිණිල්ල විසින් නඟා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්ව තිබූ හෙයින් දෙවැනි චූදිත පුද්ගලයාට මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණි.

චූදිත පුද්ගලයාට මරණීය දණ්ඩනය නොපැමිණ විමට හේතු ඇත්නම් ප්‍රකාශ කරන ලෙසට අධිකරණය දැනුම් දුන් අවස්ථාවේ චූදිත පුද්ගලයා විත්ති කූඩුවේ සිට හඬා වැළපෙමින් කියා සිටියේ, තමන්ගේ මව පවත්වාගෙන ගිය අනියම් සබඳතාව නවත්වන ලෙසට ඉල්ලීමක් කිරීමට තමන් මරණකරු හමුවට ගිය අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ බවත්, සිය මවගේ වැරැදි හැසිරීම් හේතුවෙන් අද තමන්ට මෙලෙස මරණීය දඬුවම හිමි වූ බවත්ය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment