ජෙරොම් පැය 8 1/2ක් සීඅයිඩීයට උත්තර බඳී

74

අදත් එන්න කියයි

ආගමික සංහිඳියාවට හානිවන අන්දමේ දේශන පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) පැය අටහමාරක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත ඊයේ පෙරවරුවේ පැමිණි දේවගැතිවරයා පැය අටහමාරක් තිස්සේ සිය ප්‍රකාශය ලබාදී තිබිණි.

ඉකුත් මැයි මාසයේ ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ දී බුදුන් වහන්සේ ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට චෝදනාවක් එල්ල වී තිබිණි.

මෙම ප්‍රකාශය නිසා රටේ ජනතාව තුළ මහත් කැළඹිලි තත්ත්වයක් උද්ගත වූ අතර දේවගැතිවරයා තම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැ ද සිටියේය.

මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ පාර්ශ්ව කීපයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

ඉකුත් මැයි මාසයේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කළේය. එහෙත් ඒ වනවිටත් ජෙරොම් ප්‍රනාන්දු රටින් බැහැර ගොස් සිටියේය.

ජූලි මාසයේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ විමර්ශනවල දී අනාවරණය වූ තොරතුරුවලට අනුව ජෙරොම් ප්‍රනාන්දුට අයත් බැංකු ගිණුම් හරහා රුපියල් බිලියන 12.2ක මුදල් ගනුදෙනු සිදුවී ඇති බවයි.

ජෙරොම් පැය 8 1/2ක් සීඅයිඩීයට උත්තර බඳී

මුදල් විශුද්ධිකරණය යටතේ ද ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක් කරන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබිණි.

මෙම සිදුවීමෙන් මාස කීපයකට පසු ජෙරොම් ප්‍රනාන්දු තමන්ට නැවත ශ්‍රී ලකාවට පැමිණීමට අවශ්‍ය පරිසරය සකස් කරදෙන ලෙසත් මෙරටට පැමිණීමේ දී තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉකුත් 17 වැනිදා අභියාචනාධිකරණය ඒ අනුව නියෝග කර තිබුණේ ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ පැය 48ක් ගත වීමට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධිකරණය නියෝග කර තිබිණි. ඒ අනුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මාස 06 කට පසු ශ්‍රී ලංකාවට පෙරේදා පැමිණි අතර ඊයේ උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment