කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවෝ ජනාධිපති මන්දිරයට පැමිණිදා….

108

පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අවස්ථාව උදාකර දී ඇත.

ඒ අනුව (29) දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කළේය.

කොල්වින් ආර් ද සිල්වා මහතා සහ ජේ. ආර්. ජයවර්ධන මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත්ව සිටි බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද පැවසීය.

තරුණ කටයුතු සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර, සහකාර අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ) මේජර් ඩී. ජී. එන්. පී. දන්ගොල්ල යන මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment