ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන් – භාණ්ඩාගාරය දන්නෑ

248

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ව්‍යාපෘති 20ක් සඳහා රුපියල් එකසිය අසූතුන් කෝටි, හැත්තෑ තුන් ලක්ෂ, විසිඑක් දහස්, හාරසිය විස්සක මුදලක් විදේශ ප්‍රදාන වශයෙන් 2022 වර්ෂයේ දී සෘජුව ලබා ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එම වටිනාකම ප්‍රතිපාදන සලසා ගෙන මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ ප්‍රකාරව විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ යුතු බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ මහා භාණ්ඩාගාරයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව විදේශ ආධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ යුතු බව සඳහන් වුවද මහා භාණ්ඩාගාරයේ දැනුවත්භාවයකින් තොරව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මගින් සෘජුව විදේශ ප්‍රදාන ලබා ගෙන ඇති බවය. සෘජුවම ලැබෙන විදේශ ප්‍රදාන අයවැය ප්‍රතිපාදන සලසාගෙන මූල්‍ය ප්‍රකාශවල ඇතුළත් කිරීම සඳහා වාර්තා කිරීම ඒවා ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක් බව ද මහා භාණ්ඩාගාරයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment