එප්පාවල දරුවා පැහැරගත් සැකකරුවන් වහා අල්ලන්න

182

උසාවියෙන් පොලිසියට නියෝග දරුවා සොයන්න පොලිස් කණ්ඩායම් තුනක්

එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි බලවයස්කාර පිරිමි දරුවකු පැහැර ගෙනයෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාට නියෝග කළේය.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

එමෙන්ම දරුවා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍යවන දුරකථන විශ්ලේෂණ වාර්තා නොපමාව එප්පාවල පොලිසියට ලබා දෙන ලෙසට ද සියලු රාජ්‍ය හා පෞද්ගලික දුරකථන සමාගම්වල කළමනාකාරීත්වයට විනිසුරුවරයා නියෝග කළේය.

එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ දී ඉකුත් 19 වැනිදා රාත්‍රී පී. කේ. ගෞරව දෙනෙත් ප්‍රේමසුන්දර නමැති පිරිමි දරුවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයම්පති මහතා ඒ පිළිබඳව බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එකී නියෝගය කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පොලිසිය කියා සිටියේ දරුවා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති නමැත්තිය විසින් එප්පාවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

අතුරුදන්ව සිටින දරුවා සමග සමීප අසුරක් පවත්වා ගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු විසින් තම දරුවා පැහැරගෙන යන්නට ඇති බවට සැක කරන බව දරුවාගේ මව සිය පැමිණිල්ලෙන් කියා සිටින බවත් මේ වන විටත් අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සිටින බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

අදාළ සැකකරු සහ අතුරුදන්ව සිටින දරුවා සෙවීමේ මෙහෙයුම් සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

මේ අතර දරුවා පැහැර ගෙන යෑමේ සිද්ධියට තවත් පුද්ගලයන් ආධාර අනුබල දී ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහාත් පොලිසියේ අවධානය යොමුවී ඇති බවත් අධිකරණයට දැන්වූ පොලිසිය දරුවා සහ ඔහු පැහැර ගෙන ගිය බවට සැක කරන පුද්ගලයන් සොයා අංශ කීපයක් ඔස්සේ අඛණ්ඩව විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment