ගිංතොට තුනී ලෑලි ඉඩම වරෙන්තුකරුවෙකුට විකුණලා – චන්දිම වීරක්කොඩි

144

ගිංතොට තුනී ලෑලි සංස්ථාවට අයත් අක්කර 17ක ඉඩම රුපියල් ලක්‍ෂ 82කට පුද්ගලයකුට විකුණා ඇති බවත් එම පුද්ගලයා ඉඩම කට්ටි කර විකුණන බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

ඉඩම මිලදී ගත් තැනැත්තා විවෘත වරෙන්තුකරුවකු වුවත් ඔහුව යුක්තිය මෙහෙයුම මගින් හෝ අත්අඩංගුවට ගන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ගිංතොට තුනී ලෑලි සංස්ථාවේ අක්කර 17ක ඉඩම, රුපියල් ලක්‍ෂ 82කට යසසිරි කස්තුරිආරච්චිට දීලා. දැන් ඒ ඉඩම කෑලිවලට විකුණනවා. කර්මාන්තයවත් පවත්වාගෙන යන්නේ නැතුව මේකද රජයේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය? කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන්න රජයෙන් දීපු ඉඩම ගෙවල් හදන්න කෑලි කරලා විකුණන්න අවස්ථාව තිබෙනවාද? රජය ඊට අවසර දෙනවාද?

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා – අපේ ඇමැතිතුමා දැන් පාර්ලිමේන්තුවේ නෑ. මම මේ ගැන අද හෝ හෙට උදේ වනවිට වාර්තාවක් දෙන්නම්.

ඇමැති මනූෂ නානායක්කාර මහතා – පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකයකු ලෙසත් අත්දැකීම් තිබෙන ඒවගේම නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු සහ උගත් නීතිඥයකු සහ වැදගත් පවුලකින් පැවත එන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ අද හැසිරෙන විදිහ කනගාටුදායකයි. ගිරව් වැටුණු තැන් දෙකක් තිබෙනවානේ. ඒ ගිරවා අද වැටිලා ඉන්න තැනේ හැටියට බොළඳ බාල ප්‍රචාර ලබා ගන්න තත්ත්වයට පත්වෙලා.

චන්දිම වීරක්කොඩි මහතා – මනූෂත් ඡන්දෙන් ආවේ ගාල්ලෙන්. ගාල්ලට වටිනාම සම්පතක් තමයි තුනී ලෑලි සංස්ථාව. දැන් තුනී ලෑලි සංස්ථාව හොරෙකුට දීලා. ඒ හොරා දැන් ඒක කෑලිවලට කඩලා විකුණනකොට අපි දන්නවා. ඒ පුද්ගලයා බොහෝ දෙනකුට සල්ලිත් දීලා තියෙන බව.

මනූෂ නානායක්කාර මහතා – ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වගේ කටයුතු වෙනවා නම් ඒවා ගැන කතා කරන එක හොඳයි. නමුත් මේ යසසිරි කස්තුරිආරච්චි කාගේ ගෝලයෙක්ද. ඔහු කාටද සල්ලි දුන්නේ කියලා හැමෝම දන්නවා. ප්‍රේමදාස හදපු ගෝලයෙක් සහ ප්‍රේමදාසත් එක්ක තිබෙන සම්බන්ධතා වෙන කා එක්කවත් නෑ. ඒ නිසා යසසිරි ඉන්න තැන දන්නේ නැතුව තප්පුලනවා.

චන්දිම වීරක්කොඩි මහතා – දිවංගත ප්‍රේමදාස මහත්තයාට අපහාස කරන්න එපා. මේ ජරා වැඩේ නවත්වන්න, ගාල්ලේ මිනිස්සු දැක්කොත් දන්නවා සල්ලි ගත්තේ කවුද කියලා?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment