අවුරුදු හතකට පස්සේ රිදී තිරයේ

බඹර වසන්තය චිත්‍රපටයත් සමග මේ දිනවල රිදී තිරයෙන් ඔබ හමුවට එන ටනාශා හතරසිංහ පුංචි තිරයෙන් නීල පබළු” සංසාරිණී සහ සංසාරේ යන ටෙලි නාට්‍ය හරහා ද දකින්න ලැබෙනවා. ඉතිං කාලෙකට පස්සෙ අපි ටනාශා සමග කතාබහකට එකතු වුණා.

ටනාෂා, බඹර වසන්තයේ ප්‍රධාන නිළිය හැටියට ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා?

ඔව්” ඇත්තටම ගොඩක් සතුටුයි. රන් දේදුන්න චිත්‍රපටයේත් රොෂාන් රණවන අයියා එක්ක ප්‍රධාන චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. චන්න පෙරේරා කියන්නෙ මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. මේ චිත්‍රපටයේදී එතුමාත් එක්ක රඟපාන්න ලැබුණා කියන එක මගේ ජීවිතයේ වාසනාවක් හැටියටයි මම දකින්නෙ. බඹර වසන්තය කියන්නෙ මම ක්‍ෂේත්‍රයට පැමිණීමෙන් අනතුරුව රංගනයෙන් දායක වන දෙවැනි සිනමා නිර්මාණය. ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව.

මම ගමන පටන්ගත්තේ මිස් ශ්‍රී ලංකා තරගයෙන් - ටනාෂා හතරසිංහ

කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?

මට මේ ආරාධනය ලැබෙන්නෙ ජගත් ගලප්පත්ති අයියගෙන්. ඔහු මාව හඳුනාගන්නෙ රන් දේදුන්නක් චිත්‍රපටය මගින්.

මෙහි රූගත කිරීම් කරල බොහෝ කාලයක් ගත වුණා?

ඔව්” රූගතකිරීම් කළේ කොරෝනා වලට කලින්. විවිධ බාධාවන් නිසා තිරගත කරන්න ප්‍රමාද වුණා.

ඔබේ චරිතය ගැන කතා කළොත්?

ගොඩක් සල්ලි තියෙන තාත්තා කෙනකුගෙ අහිංසක” දඟකාර දියණියක් තමයි මගේ චරිතය වෙන්නෙ. ඇය නමින් ඉෂාරා.

ඉෂාරා ටනාෂාට සමානද?

මගේ සාමාන්‍ය ජීවිතයට බොහෝ සෙයින් සමානයි කියල කියන්න පුළුවන්.

රූගත කිරීම්වලදි සිදුවුණ විශේෂ සිදුවීම්?

අපි මාසයක් විතර නාවලපිටියෙ නැවතිලා රූගතකිරීම් කළා. ඒ කාලෙනම් හරිම සුන්දරයි. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඒ කාලය තුළ අපිත් එක්ක මේ නිර්මාණයට සම්බන්ධ වෙලා හිටියා. ඔවුන්ගේ ඇසුරෙන් ලබපු අත්දැකීම් මට ජීවිත කාලෙටම අමතක වෙන එකක් නැහැ.

මම ගමන පටන්ගත්තේ මිස් ශ්‍රී ලංකා තරගයෙන් - ටනාෂා හතරසිංහ

චන්නගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණෙ?

මගේ දෙවැනි නිර්මාණය වුණත් ලොකු අත්දැකිම් නැහැ. ඇත්තටම මේ චිත්‍රපටයේ රංගනය ගැන මම කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. එතනදි චන්න අයියා සහ අධ්‍යක්‍ෂවරයා වන මොහාන් නියාස් මහත්මයාගේ උපදෙස්” මගපෙන්වීම යටතේ තමයි ඉෂාරාගේ චරිතය ගොඩනැගුනෙ.

මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනවා. නීල පබළු ටෙලියේ කුරුළු” සංසාරිණී ටෙලියේ ඇමැන්ඩා” සංසාරේ ටෙලියේ අභිෂේකා යන චරිත තමයි ඒවායේ නිරූපණය කරන්නෙ.

වැඩිම ප්‍රතිචාර මොන චරිතයටද?

ඇත්තටම කිසිම වෙනසක් නැතිව චරිත තුනටම එක වගේ ප්‍රතිචාර ලැබෙනවා. නමුත් වෙනස්ම චරිතයක් වන ඇමැන්ඩාට වැඩිපුර බැනුම් ටිකක් අහන්න වෙනවා.

ටෙලි තුනක් එකවර විකාශය වීම දැනෙන්නෙ කොහොමද?

මුල් කාලෙනම් එහෙම ටෙලි නාට්‍ය භාරගන්නෙ නැහැ කියලත් හිතුවා. නමුත් ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරේ වැඩි වෙද්දි දැන් හිතෙනව එක වර විකාශය වෙනව කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කියල.

ටනාශාගේ වැඩි කැමැත්ත?

එහෙම විශේෂයක් නැහැ. මම සිනමාවට වගේම ටෙලි නාට්‍යයටත් කැමතියි.

කුරුළුගෙ චරිතය අඛණ්ඩව වසර හයක් නිරූපණය කරනවා?

මේ ගැන මට මුණගැහෙන බොහෝ දෙනෙක් විවධ අදහස් වලින් කතා කරනවා. නමුත් කුරුළු කියන්නෙ එක තැන පල් වෙන චරිතයක් කියල ඒ කවුරුවත් කියන්නෙ නැහැ. මොකද පිටපත් රචනයෙන් වගේම අධ්‍යක්‍ෂණයෙන් මේ චරිතය වෙනස් මානයන්වලට ගෙනියනව.

ජනප්‍රියත්වය වාසනාවට ලැබෙන දෙයක්ද?

ඔව්” මම හිතනව ජනප්‍රියත්වය ලබන්න නම් වාසනාව තියෙන්න ඕන කියල. මොකද රටේ බොහෝ දෙනකුගෙ ආදරයක් ලබන්න නම් වාසනාවක් තියෙන්නම ඕන.

රංගනයේදී සීමාවන් තියෙනවද?

මම චරිතයක් තෝරාගනිද්දි මට ගැළපෙන” මට කරන්න පුළුවන් එකක් තමයි තෝරා ගන්නෙ. එහෙම කළාම අමුතුවෙන් සීමාවන් දාගන්න ඕන වෙන්නෙ නැහැ.

සිනමාවට අලුත් ආරාධනා ලැබිල තියෙනවද?

බාසිත අයියාගේ අධ්‍යක්‍ෂණයක් වන ‘රජ දහනක්’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව.

ඔබව සිනමාවෙන් දකින්නෙ බොහෝ කලකට පසුව?

ඔව්” මං හිතන්නෙ සිනමා නිර්මාණයකින් මාව දකින්නෙ අවුරුදු හතකට පස්සෙ.

ටෙලි නාට්‍ය තුනක් විකාශනය වෙනවා.

ටනාශා කාර්යබහුල වෙලා?

සතියේ දින පහ විකාශය වන මෙගා ටෙලි නාට්‍ය තුනකම වැඩකටයුතු කෙරෙන නිසා රූගත කිරීම් දිගටම සිදු වෙනවා. මේ නිසා ටිකක් කාර්යබහුලයි.

විවාහ ජීවිතය?

අපි යාළුවෙලා ඉන්න කාලෙ වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. බොහොම සුන්දරව, හරිම ආදරෙන් අපි දෙන්න ඉන්නව.

ඔහුගේ සහයෝගය බොහොම ඉහළයි?

මම රූගතකිරීම්වලට ගියාම වුණත්” එන්න පරක්කු වුණත් ඔහු ඉතාම හොඳින් මගේ වෘත්තිය තේරුම් අරගෙන ගෙදර දොර වැඩවලට වුණත් ලොකු සහයෝගයක් ලබාදෙනව.

ඔහු සීමාවන් දාන්නෙ නැහැ?

මම හැමවෙලාවෙම මගේ සීමාව දන්නව. ඒ වගේම මට ගැළපෙන දේවල් විතරක් මම කරන බවත් ඔහු දන්නව. මම මටම සීමාවන් දාගෙන ඉන්න බව දන්න නිසා ඔහුට අමුතුවෙන් මම වෙනුවෙන් සීමාවන් දාන්න වුවමනා වෙන්නෙ නැහැ.

මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙනවද?

ඔව්” මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙනව. නමුත් ටෙලි නාට්‍ය රූගතකිරීම් නිසා ගොඩක් ඒවා භාරගන්න වෙන්නෙ නැහැ.

ඔබේ ගමනේ ආරම්භය ගැන මතක් කළොත්?

මම මේ ක්‍ෂේත්‍රයේ ගමන පටන්ගත්තෙ මිස් ශ්‍රී ලංකා තරගයෙන්. අද වන විට ගොඩක් අය ආදරය කරන” ගොඩක් අය දන්න කෙනෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනව.

කලාව තෝරාගැනීම ගැන ඔබ සතුටින්ද?

මුලදි ඇතැම් වෙලාවට මම වෙන ක්‍ෂේත්‍රයක හිටියා නම් කියන සිතිවිල්ල ඇවිත් තියෙනව. නමුත් අද වන විට මම හිතනව මම හරිම දේ තෝරාගත්තා කියල.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – ශානු විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment