දෙහිවල ඒසී හදන තැන මරාගෙන 14 ක් අත්අඩංගුවට

666

තුවාලකරු රෝහලෙන් පැනයයි

දෙහිවල, කළුබෝවිල පාරේ වායු සමීකරණ අලුත්වැඩියාව සහ අලෙවි කරන මධ්‍යස්ථානයකදී එහි සේවක පිරිසක් විසින් පුද්ගලයන් දෙදෙනකුට කළ පහරදීමකින් එක් අයකු මරුමුවට පත්වී අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පෙරේදා (09 දා) රාත්‍රී සිදුවූ මෙම ඝාතනයට අදාළව සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

එසේම මෙම ඝාතනයට අදාළව තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ අවුරුදු 19 ත් අවුරුදු 80 ත් අතර වයසේ පසුවන කින්නියා, කළුතර, බණ්ඩාරගම, නිලාවේලි, ගාල්ල, බේරුවල, කන්තලේ, රවැන්වැල්ල, හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ ගල්කිස්ස බඩෝවිට පදිංචිව සිටි ඩිල්සාන් රංග කුමාර (27) නමැති අයෙකි. පහරකෑමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ දෙහිවල පදිංචි 28 හැවිරිදි අයෙකි.

වායු සමීකරණ ආයතනයේ දින කීපයක සිට තඹ කම්බි වරින්වර අවස්ථාන ගතවී තිබේ. මේ හේතුවෙන් එහි පාලනාධිකාරිය තඹ කම්බිවලට සිදුවන්නේ කුමක්දැයි සෙවිල්ලෙන් පසුවන ලෙසට දැනුම් දී ඇත.

ඒ අතරේ එම ආයතනයට ඇතුළු වූ එක් පුද්ගලයකු අදාළ සේවකයන් විසින් අල්ලා පහරදී තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු අනුව දුරකථන මාර්ග ඔස්සේ තවත් අයෙකු එම ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වා ගත් අයද අල්ලාගෙන ඔහුටද සේවක පිරිස අතින් පයින් පහරදී තිබේ. ඉන්පසු සිහිමුර්ඡා වී සිටි ඔවුන් දෙදෙනාව පිරිස විසින් රෝහල්ගතකර තිබෙන අතර එහිදී එක් අයකු මියගොස් තිබේ.

මේ අතර රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලෙන් පලාගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් 14 දෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න – රත්මලාන සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment