එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිට නඩු පැවරීම දක්වා වූ ක්‍රියාවලිය විනිවිදව සිදු කළා – විදේශ ඇමැති අලි සබි්‍ර

160

ජාත්‍යන්තර වරායන් දෙකක් ප්‍රතික්ෂේප කළ නැව අපේ මුහුදු තීරයට ගත් දේශද්‍රෝහියා කව්ද?
– විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
නැව ගැන කතා නොකරනවා නම් එය දොන් ජුවන් ධර්මපාල රටට කළ හානියටත් වඩා හානියක්

– තුෂාර ඉදුනිල් (සජබ)
නැවෙන් මුදල් ගත් මහමොළකරු – ආණ්ඩුවේ අයෙක් දැයි සැකයි නිරෝෂන් පෙරේරා (සජබ)
මීගමුව කලපුව ආරක්ෂා කිරීමට පියවර ගත්තා – ඇමැති කාංචන විජේසේකර
නඩුව ප්‍රමාද වීමට සැඟවුණු අතක් තිබුණා දැයි සැකයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිට වන්දි ලබා ගැනීමට නඩු පැවරීම දක්වා වූ මෙතෙක් ක්‍රියාවලිය පූර්ණ නීත්‍යානුකූලව හා විනිවිදව සිදු කළ බව විදේශ ඇමැති අලි සබි්‍ර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට රැස් විය.

නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව දිනට නියමිත මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් ලබා ගත යුතු වන්දිය හා ඊට සම්බන්ධ කරැණු සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදය ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් කුරැණෑගල දිස්ත්‍රීක් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ):

ලංකාවේ මුහුදු තීරය විනාශ වෙනවා නම් වසර ගණනාවක් පුරා ගණනය කළ නොහැකි ප්‍රමාණයට පරිසරය විනාශ වෙනවා නම් ඒ ගැන හැමෝම එක්ව කතා කළ යුතුයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය ගැන කතා කර තියෙනවා. එතනෝල්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය රැසක් පරිසරයට එක්වී තියෙනවා. නැව විනාශයත් සමග ගණනය කළ නොහැකි පරිසර හානියක් රටට සිදුවුණා.

මේ නැවෙන් වූ විනාශය ගැන කතා නොකරනවා නම් දොන් ජුවන් ධර්මපාල රටට කළ හානියටත් වඩා හානියක් කරන්නේ. සියලු අසනීප හැදිලා ඉන්න රෝගියකුට පිහියෙන් ඇන්නා වැනි දෙයක් නැවේ හානියෙන් රටට සිදු වුණේ.

පොකට්කාරයෙක් පොකට් එකක් හොරාගෙන දුවන

ගමන් හොරෙක් හොරෙක් කියනවා. පිටිපස්සෙන් එන අයත් හොරෙක් හොරෙක් කියනවා. විජේදාස රාජපක්‍ෂ ඇමැතිවරයා පොකට් ගහන පොකට්කාරයාගේ චරිතය රඟපානවා ද කියා සැකයක් ඇතිවෙනවා.

අනිත් වරායන් ප්‍රතික්‍ෂේප කළ නිසා අනුන්ගේ තොප්පියක් දාගත්තා වගේ ගමනකට නැව ඇවිදින්

ගිනිගත්තා. මේකේ සැක තැන් රැසක් තියෙනවා. එක් එක් අයගේ ප්‍රකාශ පරස්පරයි. නඩුව අපට වාසිදායක තැනක නොදා සිංගප්පූරුවේ නඩු දැම්මා. හොරු ඉන්නෙත්

සිංගප්පූරුවේ නඩු දැම්මෙත් එහෙ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ) – එක්ස්ප්‍රස් පර්ල් නැවේ හානිය අපේ ධීවරයන්ට දැඩි බලපෑම් එල්ල වුණා. ඔවුන්ට ආර්ථික අර්බුදය පැමිණීමත් සමග තවත් ගැටලුවලට මුහුණ දෙන්න වුණා.

මේ නැවේ සිද්ධිය ඉහළ මුදලක් ලබා ගත්ත මහ මොළකාරයෙක් ආණ්ඩුව තුළ සිටිනවාද? ඔහු නඩු ප්‍රමාද කරනවා ද කියා ජනතාව තුළ සැක පවතිනවා. තවම හරියට වන්දියක් අරගෙන ජනතාවට දීමට හැකි වී නෑ. කප්පම් ගත්තාය කියන සිද්ධිය පිළිබඳව හරි තොරතුරු තවම රටට ඉදිරිපත් කර නෑ. නඩු කටයුතු පමා කිරීම මේ කප්පම් හේතු වී තිබෙනවා ද යන්න බැලිය යුතුයි.

පරිසරය ගැන නීති හා ආයතන දුසිම් ගණන් තියෙනවා. නමුත් අවශ්‍ය ආකාරයට නඩු පවරා වන්දි ජනතාවට ලබාදීමට රජය අපොහොසත් වෙලා.

නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නැව් ගින්නේ මහ මොළකරු කවුද කියා තවම දන්නේ නෑ. හරි වන්දියක් කාටත් ලැබිල නැහැ. නිව් ඩයමන්ඩ් නැවත් නැහැ වන්දිත් හරියට නෑ.

විදේශ ඇමැති අලි සබි්‍ර – නැව ගිනිගත් පසුව සුන්බුන් ඉවත් කිරීම සඳහා සියලු ආයතන එක්ව ක්‍රියාකළා. වන්දි ගණනය කිරීමට සමුද්‍රජීවී ආයතනය වෙනම ක්‍රියාකළා. පත් කළ අනු කමිටු ප්‍රගතිය අපි සමාලෝචන කළා. සැලැස්මක් නැතිව ආණ්ඩුව ක්‍රියාකළා කියා විපක්‍ෂය නගන චෝදනා සම්පූර්ණයෙන් වැරදියි. මෙවැනි විශාල අනතුරක් සම්බන්ධව නඩු දැමීමේ හැකියාවක් අපට නැති බව නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා. ඒ අනුව නීතිපති අංශය හා අනෙකුත් ආයතන එක්ව ඉදිරි කටයුතු සැලසුම් කළා. විපක්‍ෂ නායකවරයාත් මේ කමිටුවලට පැමිණියා.

නැවේ වන්දි ලබාගැනීම ගැන නිසි පරිදි කැබිනට් අනුමැති ලබාගෙන තිබෙනවා. මෙය සංකීර්ණ නඩු කටයුත්තක්. මේ සඳහා උපදෙස් ගන්න ලංකාවේ නීතිඥයන් නෑ. නීතිපති එය කිව්වා. ඒ නිසා ජාත්‍යන්තර නීතිඥ සහය ලබාගන්න තීරණය කළා. ඒ අනුව විශේෂඥ කමිටුවේ ද උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. නඩුවට අවශ්‍ය සියලු තොරතුරු සොයා ගත්තා. නඩුව පැවරිය යුතු රට පිළිබඳ නීතිපතිවරයා හොඳට උපදෙස් ලබා ගෙන තියෙනවා.

මේ වනවිට අපේ නඩුව සිංගප්පූරු අධිකරණයේදී ලබන 15 වැනිදා නැවත කැඳවනවා. අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නෑ. අපේ නඩුවට හානියක් වන ප්‍රකාශ කළ යුතු නැහැ. නඩුව ඔප්පු කරන්න සාක්‍ෂි මෙහෙය විය යුතුයි. නැව ගිනිගත් අවස්ථාවේ සිටම මේ දක්වා ඉතා විනිවිදව හා වගකීම් සහගතව ක්‍රියාකළා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස – මේ ඛේදවාචකය තුළ සමුද්‍රීය පරිසරයට, ධීවර ප්‍රජාවට ජෛව විවිධත්වයට මරු පහරක් එල්ල වුණා. නිව් ඩයමන්ඩ් ඛේදවාචකය 2021 මැයි සිදුවුණා. එහිදී සමුද්‍රීය පරිසරය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පාඩම් ඉගෙන ගත්තාද කියන ප්‍රශ්නය ඇතිවෙනවා. මේ අනතුරෙන් පස්සේ අපට වූ අඩුපාඩු ගැන සොයා බැලුවෙ නෑ. එසේ කළා නම් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය වීමට පෙර අවශ්‍ය පියවර ගන්න තිබුණා.

කාන්දුවක් සිදුවන බව පවසා ජාත්‍යන්තර වරායන් දෙකකින් ප්‍රතික්‍ෂේප කරපු නැව අපේ මුහුදු තීරයට ඇතුල් කරගත් දේශද්‍රෝහියා කවුද මේ නඩුව කතා කරන එක නවත්වන්න හැදුවේ. අපි කතා කරන්නේ නැව් අයිතිකාරයෝ වෙනුවෙන් නොවෙයි ජනතාව වෙනුවෙන්. නැවට විශේෂඥයන්ට ඇතුල්වෙන්න දුන්නේ නෑ. එසේ ඇතුල් වූයේ නම් ඩොලර් බිලියන 6ක් නොව ඊට වඩා වන්දි ගන්න තිබුණා. නැව් අයිතිකාරයාගේ හයියට හිටිය කෙනා කවුද?

සමුද්‍රීය හානි පිළිබඳව අපේ රටට දැනුමක් නෑ කියලා කියනව නම් වැරදියි. අපේ රටට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා. දේශීයත්වය ගැන අගය කරනවා නම් දේශීය විශේෂඥයන් ගැන විශ්වාසය තබන්න.

අපේ රට සමුද්‍රීය පරිසරය මහ විනාශයක් වූ විට වන්දියක් ලබාගැනීමට අවශ්‍ය සීමා පැනවීම සඳහා පිහිටු වූ සම්මුතියට අපි අත්සන් කර නෑ, සිංගප්පූරුව වන්දියට සීමා දැමීමට පිහිටුවූ සම්මුතියකට අත්සන් කර තියෙනවා. ඒ රටේ අපිත් නඩුව දැම්මා.

නැව් සමාගම කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාව පරාජය කිරීමට ඩොලර් බිලියන 10 කට වඩා වන්දි ලබා ගත යුතුයි. මේ පාර්ලිමේන්තුවේ 225ම එකට එකතු වී නැව් සමාගම වැරදි වැඩක් කර ඇති බව කිව යුතුයි. නැවේ සිට මීටර් 500ක් වටේට සීමා පැනවීමට ඔහුට අයිතියක් නෑ, අපි ස්වෛරී රටක් වහාම ක්‍රියාත්මක වන පරිදි පරිසර රාජ්‍ය ආයතන එක තැනක තිබිය යුතුයි. මුලින්ම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුයි. එය කළේ නෑ. ධීවරයන් ඉතා අසරණ වුණා. සංචාරක කර්මාන්තයට වූ හානිය ගණන් බලලාවත් නෑ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර – අනතුරු වළක්වා ගත නොහැකි අවස්ථාත් තියෙනවා. නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු වීමේදී අපට අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සිද්ධියෙන් පස්සේ අනතුරක් වළක්වා ගැනීමට පියවර ගත යුතුයි කියලා තීරණ ගත්තා.

නාවික හමුදාව නැව අසලටම ගොස් සාම්පල් ගන්න උපකාර කළා. නැව ළඟට යන්න දුන්නේ නැහැ කියන එක වැරදියි.

සුනාමිය එන්න පෙර අපි ඒ ගැන දැන හිටියේ නෑ. සුනාමියෙන් පස්සේ තමයි අපි වැළැක්වීමට හෝ හානි අවම කර ගන්න අවශ්‍ය පියවර ගත්තේ. අපි පළමුව මීගමු කලපුව ආරක්‍ෂා කරන්න අවශ්‍ය පියවර ගත්තා කියලා විවාදය නවත්වන්නැයි හැදුවේ. සිද්ධිය සිදුවී මාස 24ක් යනතුරු කිසිවක් නොකිරීම අරුම පුදුම දෙයක්. ජනාධිපති කොමිසමක් පත්කර හෝ මේ ගැන සොයා බැලිය යුතුයි. නීතිපති අභිමතය වැරදි විදියට පාවිච්චි කළා.

සිද්ධිය වන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක විය යුත්තේ අපේ රටෙයි. සාක්ෂිකරුවන් එංගලන්තයට යායුතුයි. නීතිඥ ගාස්තුවලට විශාල මුදලක් වැය කරනවා. නඩුව දින්නත් රටට ලැබෙන්නේ සොච්චමයි.

මීපා ආයතනය (සමුද්‍රීය පරිසර අධිකාරිය) සම්පූර්ණයෙන් උපදෙස් දුන්නා ලංකාවේ නඩු දාන්න කියලා. එය සතපහකට ගණන් ගත්තේ නෑ. අල්ලස් කතාව ඇත්ත වෙන්නේ එවැනි සිද්ධි නිසයි. වන්දි මුදල් ලබාගැනීමට සිංගප්පූරුවේ දැඩි ලෙස සීමා දාලා තියෙනවා. ලංකාවේ සීමා නැහැ. එහෙනම් නීතිපති ගත් තීන්දුව සැක බව පේනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් :

නැව ගිනි අරන් මාස 23ක් යනතුරු කිසි දෙයක් කළේ නැහැ. නීතිපතිගේ ක්‍රියාමාර්ගය අපි අනුමත කරන්නේ නෑ. දින 22 යි නඩු දාන්න ඉතිරිව තිබුණේ. මේ ප්‍රමාදයට සැඟවුණු අතක් තිබුණාද සැකයි.

චාමර ගුණසේකර නමැත්තට රුපියල් මිලියන 80,000ක් එංගලන්තයේ බැංකුවක දාලා කියලා කියනවා. මුදල් විශුද්ධිකරණ නීති එංගලන්තයේ ඉතා දැඩියි. ඒ ආාකරයට මුදල් දාන්න බැහැ. මුදල් ලැබුණු ආකාරය හොයනවා. මහා පරිමාණ අල්ලසක් මේ ඉදිරිපත් වන්නේ. අවසන් මොහොතේ නඩු දාන්න ඉදිරිපත් වුණේ. අල්ලසක් දෙන්නේ නඩුව යට ගහන්නයි. එවැන්නක් කළ හැක්කේ බලය තිබෙන අයෙකුට පමණයි. කවුද මේ බලය ඇති තැනැත්තා කියා සොයා බැලිය යුතුයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කියන කතාවකින් එංගලන්තයේ නඩුකාරයන් තීන්දු වෙනස් කරනවාද? ඒවා විහිළු කතා. නීතිපති කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත් වන්නේ නෑ.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

නැවේ වන්දි ගන්න රටේ නීතිය අනුව අපේ රටේ නඩු දාන්න බැරි ආණ්ඩුව ජනතාවට බොරු කියනවා.

සිංගප්පූරුවේ වන්දි නඩුවල වන්දි ප්‍රමාණ සීමා කිරීම් කර තිබෙනවා. එවැනි රටකට අපි මේ නඩුව අරන් ගියේ ඇයි?

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර :

විවාදය ඊළඟ නඩු වාරයට බලපෑමක් ඇති වුණොත් කවුද එහි වගකීම ගන්නේ. එහි පාඩුව ඇති වන්නේ කාටද? එහි පාඩුව ඇති වන්නේ කාටද? ඩොලර් බිලියන 6.4ක වන්දිය ගන්න මේ නඩුව යන්නේ.

නැව ගිනිගත් පසුව ගත වූ මාස 23දී අපි ඒ සඳහා අවශ්‍ය නීතිමය කරුණු රැස් කළා. තොරතුරු ලබා ගත්තා. විවිධ සාකච්ඡා පැවැත්වුවා. එකවරම නඩු දාන්න බැහැ.

මීපා ආයතනයත් ඇතුළුව තමයි විශේෂඥ කමිටුව පත් කළේ. සිංගප්පූරුවේ නඩු දාන්නේ නැතිව ලංකාවේ දැම්මානම් ඇයි ලංකාවේ දැම්මේ කියලා විපක්‍ෂය අසාවි.

සිංගප්පූරුවේ දාන නඩුවලට වන්දි සීමා කර ඇති බව කියන කතාව බොරු. ඒවා අපේ නීති අංශ හොඳින්

දැනගෙනයි ක්‍රියා කරන්නේ. අපි දැන්වත් එකතු වී සාමුහිකව ක්‍රියා කරමු. වෙන්වී ක්‍රියා කිරීමෙන් රටට වන සෙතක් නෑ.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්‍යයන් රාසමානික්කම් (දෙජාස) :

අද ජනාධිපති, පුටුවේ වාඩිවී ඉන්නේ අරගලය නිසයි. ඇමැතිවරු හා ආණ්ඩුව එය දැනගත යුතුයි.

තවම මුහුදුකරයේ නැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම් සිදුවෙනවා. මතුපිටින් අපද්‍රව්‍ය ඉවත් කිරීම පමණයි වෙන්නේ. ලංකාවේ රස පරීක්‍ෂණ ආයතනවල මියගිය කැස්බෑවන් ෆීසර්වල දාලා තියෙනවා.

නඩු දැමීමේ ප්‍රමාදය පිටුපස ප්‍රශ්නයක් ඇති බව රටටම පේනවා. ගනුදෙනුවක් ඇති නොවුනානම් නඩුව මීට කලින් දාන්න තිබුණා. නැව ඇදගෙන යන්න ඉඩ දුන්නේ ආණ්ඩුව. ජනතාවටයි අසාධාරණය වුණේ. දැන්වත් ක්‍රියාත්මක වෙන්න.

ඒ දවස්වල තිබුණ තත්ත්වය අනුව ඩොලර් බිලියන 6.4කට වඩා වන්දි ගන්න පුළුවන්. අද මේ තක්සේරුව හරිද කියන සැකය තියෙනවා. මීට වඩා වැඩි තක්සේරුවක්

ගන්න පුළුවන්. තක්සේරු කළ හැකි විවිධ ක්‍රමවේද පවතිනවා. මේ තත්ත්වය හරියට ගත්තානම් හරි තක්සේරුවක් ගන්න තිබුණා.

ධීවර ප්‍රජාවට ඒ කාලය තුළ වූ පාඩුව අතිවිශාලයි. මත්ස්‍ය සම්පත පරම්පරා 3කට විනාශ වුණා. හම්බන්තොට දක්වා මුහුදට හානි වුණා. ඒත් ගම්පහ, කොළඹ, කළුතරට පමණයි හානි දාලා තියෙන්නේ.

මැයි 29ට පෙර ලංකාවේ නඩු දාන්න පුළුවන්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

නැව් දෙකෙන්ම රටට ලබාගත හැකි වන්දි මුදල ලබාගන්න අපි අසමත් වෙලා තියෙනවා. හිටපු හා දැන් ආණ්ඩු ඊට වගකිව යුතුයි. දැන්වත් කඩිනම් පියවර අරන් රටට සාධාරණයක් ඉටුකරන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර :

මීපා ආයතනය පරිසර අමාත්‍යාංශය යටතේ තිබිය යුතු වුවත් එය නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට දාලා. කවුද මේ දේ කළේ. දැන්වත් එම වැරැද්ද නිවැරදි කරන්න.

ගිනි ගත් නැව රැගෙන යන්න ඉඩ දුන්නේ ඇයි? හිටපු විදේශ කටයුතු ලේකම් නැව ගෙන යන්න ඉඩ දුන්නලු. ඔහුට ඊට අණදී ඇත්තේ ගෝඨාභය ජනාධිපති. මේවා කරන්න මොන පරීක්‍ෂණද කර ඇත්තේ. කිසිවක් නැතිව නැව ගෙන යන්න ඉඩදීලා. ක්‍රමානුකූලව මේ නැව ගැන කිසිම වැඩක් කර නෑ.

පාර්ලිමේන්තුවේ අපිට මේ ගැන කතා කරන්න ඉඩ දෙන්න බැහැ කියලා දැන් තේරීම් කමිටුවක් දාන්න යනවා. එවිට මාධ්‍යයට වහලාද කරුණු අහන්නේ.

මීපා ආයතනය කළ යුතුව තිබූ කාර්ය අධිකරණ අමාත්‍යාංශයට පවරලා.

විවාදය අද දිනයේදීද පැවැත්වේ

පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 9.30 ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment