යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට මරාදැමීම: – මරණ දඬුවම හිමිවූ හත්දෙනාගේ අභියාචනය සලකා බැලීම 22 දා

726

යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටින විත්තිකරුවන් හත්දෙනා විසින් අභියාචනාධිකරණයට ගොනුකොට ඇති පෙත්සම ලබන 22 වෙනිදාට සලකා බැලීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙරේදා (09 දා) දින නියම කොට තිබේ.

2015 වසරේ මැයි 13 දින මෙම දැරිය පාසල් පැමිණෙන අවස්ථාවේදී පැහැරගෙන ගොස් මෙම අපරාධය සිදුකළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට පත්වුණි.

පසුව පැවති නඩු විභාගවලදී ඉන් දෙදෙනකු නිදහස් වූ අතර ඉතිරි හත්දෙනාට යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් මරණීය දණ්ඩනය හිමිව තිබුණි.

ඉහත කී විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර්, සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත්විය.

මරණීය දණ්ඩනයට අමතරව සැකකරුවන්ට තවත් වසර 30ක සිරදඬුවමක්ද නියම කෙරිණි.

මෙම දඩුවම්වලින් චූදිතයන්ව නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගපුල්ලි සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම ජනවාරි 22 වෙනිදාට සළකා බැලීමට මෙම නියෝගය නිකුත් කෙරිණි.

එහිදී මෙම නඩුවට අදාළ සිංහල භාෂා පරිවර්තන පිටපත් නීතිපතිවරයා වෙත භාරදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment