දේශනවලට සහභාගි වී මිථ්‍යා විශ්වාසවලින් ගැලවෙන්න බැරිනම් මානසික රෝහලට යන්න – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

195

ජීවිත හානි කර ගැනීම පිළිබඳ සිදුකරන දේශනවලට සහභාගි වෙලා මිථ්‍යා මත විශ්වාස කොට ඒවායෙන් ගැලවීමට යම් කිසි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට නොහැකි නම් ළඟම ඇති මානසික රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගෙන මෙම මිථ්‍යා විශ්වාසවලින් මිදීමට හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රුබන් මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

මිථ්‍යා විශ්වාස මත එළැඹගෙන ඉන්න පුද්ගලයන් හෝ කණ්ඩායමක් අනුගාමිකයන් පිරිසක් ගොඩනගා ගන්නවා. මිථ්‍යා විශ්වාස කරන පුද්ගලයා හිතනවා කණ්ඩායමක් හැටියට ජීවිතය නැති කරගෙන දෙවියන් ළඟට හෝ දිව්‍යලෝකේ යන්න පුළුවන් කියලා. ඔවුන්ගේ අනුගාමිකයන්ද මෙම මිථ්‍යා දේවල් විශ්වාස කරගෙන නොයෙකුත් අපරාධ දේවල් කරනවා. නැතිනම් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. එහෙමත් නැතිනම් අන් අයගේ ජිවිත විනාශ කරනවා.

මෙවැනි ආගමික කල්ලි ලෝකයේ බොහෝ අවස්ථාවලදී අපි දැක තිබෙනවා. යම් කිසි පුද්ගලයකු මේ වගේ විනාශකාරී දෙයක් කෙතරම් ආකර්ෂණීය ලෙස කිව්වත් ඒ ගැන තර්කානුකුලව හිතන්න සමාජයක් හැටියට අපි සැලකිලිමත් වෙන්න ඕනෑ. මෙහි ඇති විනාශය ගැන හිතලා එයට විරුද්ධව වැඩකිරීම සමාජයක් ලෙස අපේ යුතුකමක්. මේ වගේ මිථ්‍යා විශ්වාස කරන පුද්ගලයන් කණ්ඩායමක් හැටියට දිවි හානිකරගන්න පුළුවන්. ජීවිතය විනාශ කරගන්නා ආකාරය පිළිබඳ දේශනා පවත්වනවා නම් ඒ අයට විරුද්ධව නීතිමය කටයුතු කිරීමත් ඉතා වැදගත්. මානසික රෝගී තත්ත්වයක් නිසා මෝහනය වැනි දෙයක් නිසා මෙවා විශ්වාස කරලා දිවි හානිකර ගන්නවා නම් මේ සඳහා ප්‍රතිකාර කොට මෙම මානසික රෝග සුව කිරීම ඉතා වැදගත්.

මේ වගේ දේශනාවලට සහභාගි වෙලා මිථ්‍යා විශ්වාස විස්වාස කරන අය ඉන්නවා නම් තමන් විශ්වාස කරන මතිමතාන්තර පිළිබඳ නැවත තර්කානුකූලව සිතා බැලිය යුතුව ඇති බවද රූමි රුබන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම- රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment