ලංවිම සභාපතිට ලිපි දෙකක් – කංචන කඩුව ගනියි

397

දින 3 විරෝධයේ රාජකාරි පැහැර හැර ඇත්නම් වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්න -ඇමැති
එහෙම කළොත් උසාවි යනවා: අපි වර්ජන කළේ නැහැ දැක්වූයේ විරෝධයක් – වෘත්තීය සමිති
එපා කියද්දිත් බඳවාගැනීම් කළේ ඇයි?

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබියදී සැලසුම් සහගතව සහ නීති විරෝධී අයුරින් නිවාඩු හෝ වෛi නිවාඩු මත සේවයට වාර්තා නොකර පසුගිය ජනවාරි 03, 04 සහ 05 දිනවල සේවාවන් පවත්වාගෙන යෑමට බාධා කරන ලද සේවකයන් පිළිබඳ තොරතුරු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් එසේ කළ සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

උද්ඝෝෂණ කළ දිනවල ඇතැම් සේවක පිරිස් සිදුකළ වැඩ වර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යෑමට බාධා වන ලෙස ගෙවීම් කවුළු වසා දමා මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබියදී සහ පසුගිය ජනවාරි 02 වැනිදා සිට සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර අත්‍යවශ්‍ය සේවාවක් ලෙස විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දන්වා තිබියදීත් සැලසුම්සගතව නීති විරෝධීව සේවකයන් නිවාඩු හෝ වෛi නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණයේ නිරත වී ඇති බව පෙනී ගිය බව ද ඇමැතිවරයා පවසයි. එවැනි සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඇමැතිවරයා සභාපතිවරයාට යොමුකළ ලිපිය මගින් දැනුම් දී ඇත.

ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් අවම කර ගැනීමේ අරමුණින් බඳවා ගැනීම් අත්හිටුවා තිබියදී පිය පුතු පදනම මත බඳවා ගැනීම් සඳහා සම්මුඛ පරීක්‍ෂණ පවත්වා බඳවා ගැනීම් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම බඳවාගත් පිරිස සම්බන්ධයෙන් තමා වෙත වාර්තාවක් එවන ලෙසත් ඇමැතිවරයා තවත් ලිපියක් මගින් සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවන මොහොතක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිම බඳවා ගැනීමක් නොකළ යුතු බව මීට පෙර දැනුම් දී තිබෙන බව ද ඇමැතිවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment