පේදුරුතුඩුවේ නිදහස් උළෙල ගැන මතකයක්

127

යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කොටසට අයත් පේදුරුතුඩුව ඉතා වැදගත් ප්‍රදේශයකි. කොටි නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරෙයි පිහිටා ඇත්තේ ද පේදුරුතුඩුවට ආසන්නවය.

මෙවර 75 වන ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සව අතරින් උතුරු පළාතේ පැවැත්වූ නිදහස් උත්සවවලින් පේදුරුතුඩුවේ පැවැති උත්සවය විශේෂ තැනක් ගත්තේය. අතිබහුතරයක් දෙමළ ජනතාව වෙසෙන යාපනය අර්ධද්වීපයේ සිංහල ජනතාවගේද සහභාගිත්වයෙන් මෙම නිදහස් උත්සවය පැවැත්වීම විශේෂත්වයක් විය.

ජාතික සමගිය, සාමය, සංහිඳියාව තේමා කරගත් නිදහස් උත්සවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහළ දෙමල සමගිය සංහිඳියාව නිරූපනය කරමින් ශ්‍රී ලංකාවේ උතුරු කොනවන පේදුරුතුඩුවේ පැවැත්වීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ අධීක්ෂණය මත 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ මෙහෙයවීම යටතේ මෙම නිදහස් උත්සවය අති සාර්ථකව පවත්වන ලදි.

ජාතික නිදහස් දිනය සැමරීමේ වටිනාකම ළමාවියේදී පටන් සිත්වලට කාවැද්දීම ඉලක්ක කරගෙන පාසල් දරුවන්ගේ දායකත්වයට ප්‍රමුඛත්වය දෙමින් මෙම උත්සවය පැවැත්වීමට යුද හමුදාව පියවර ගෙන තිබුණි. දකුණේ සිට ගිය සිංහල ජාතික පාසල් දරුවන්ද සහභාගි කරවාගෙන තිබූ අතර, කොළඹ අසෝක විද්‍යාලයේ ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම ආචාර පෙළපාලියේ සරඹ වාදනය සැපයීය.

පේදුරුතුඩුව නෙල්ලිඅඩි කොලින් පිටියේදී පැවැති මෙම උත්සවයට නෙල්ලිඅඩි මධ්‍ය මහා, පේදුරුතුඩුව මෙතෝදිස්ත බාළිකා, හාට්ලි, ශාන්ත හෙන්රි යන විදුහල්වල දෙමළ සිසුසිසුවියෝ ප්‍රදේශවාසී දෙමළ වැසියෝ දහස් ගණනක් සහභාගි වූහ.

පසුගිය කාලය පුරාම යාපනය අර්ධද්වීපයේ පැවැති රාජ්‍ය උත්සවවලදී ජාතික ගීය ගැයුවේ දෙමළ බසින් පමණි. එහෙත් මෙවර මෙම රාජ්‍ය නිදහස් උත්සවයේදී යාපනය අර්ධද්වීපයේ දෙමළ ජාතික පාසල් සිසුසිසුවියෝ ජාතික ගීතය සිංහළ බසින් ද ගායනා කරන ලදි. එය මෙම උත්සවයේ කැපීපෙනුන විශේෂ අවස්ථාවක් විය.

නිදහස් උත්සවයට සමගාමීව වැඩිහිටියන්ට හා ගැබිනි මවුවරුන්ට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම, පාසල් දරුවන්ට හා පුස්තකාල වෙත පොත් පිරිනැමීම සහ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායන පැවැත්වීම ද සිදුවිය.

55 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ මෙහෙයවීම මත පේදුරුතුඩුව 551 වන බළසේනාධිපති බි්‍රගේඩියර් ජූඩ් කාරියකරවන, බි්‍රගේඩියර් විජයන්ත ජයවීර, කර්නල් ජනක ප්‍රේමතිලක හා ජාතික ශිෂ්‍ය භට බළකායේ 20 වන බළඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.එච්.එන්.ඒ රත්නවීරගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම උත්සවයට ලුතිනන් කර්නල් නිරෝෂන දවුලගල, මේජර් එම්.ඩී.එස්. අමරසිංහ, පේදුරුතුඩුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.එස් පද්මසිරි. පොලිස් පරීක්ෂක කේ. විමලවීර යන නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. සත්‍යබාලන්, පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් අල්වාපිල්ලේ ශ්‍රී යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

සිරිමෙවන් කස්තුරිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment