පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාව ප්‍රබල එල්-නිනෝ තත්ත්වයකට මුහුණ දුන් බව නොරහසක්. සාමාන්‍යයෙන් එල්-නිනෝ කාලයේ දී දකුණු ඇමෙරිකාවේ පේරු, චිලී සහ ඉක්වදෝර් වැනි කාන්තාර සහිත ප්‍රදේශවලට අනපේක්ෂිත කුණාටු සහ අධික වර්ෂාපතනයක් ලැබෙනවා. දකුණු ඇමෙරිකාව ආසන්නයේ ඉහළ යන වාතය ඉහළ අහසේ දී ඔස්ට්‍රේලියාව දෙසට ගමන් කර ඒ ආසන්නයේ දී පොළව දෙසට පහළට ගලා එන (subsidence) බැවින් ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියන් සාගර කලාපයේ වලාකුළු නොසෑදීම නිසා වැසි ලැබීමක් සිදුවන්නේ නැහැ. මේ වසරේ ජුනි සහ ජුලි මාස වල ශ්‍රී ලංකාව අත් දකිමින් සිටියේ මෙම එල්-නිනෝ තත්ත්වයයි.

නමුත් පැවති තත්ත්වය උඩු යටිකුරු කරමින් එක්වරම වැසි තත්ත්වයක් අතිවීම අනපේක්ෂිත ක්‍රියාවලියකි. මේ වන විට පැසිපික් සාගර කලාප වල සුලි කුණාටු කිහිපයක් වර්ධනය වී තිබූ අතර කිලෝමීටර දහස් ගණනක් ඈතින් පැවතුන ද ප්‍රභල අඩු පීඩන කලාප වන සුලි කුණාටු දෙසට අනෙක් ප්‍රදේශ වලින් සුළං ඇදී යෑමක් සිදුවේ. ඉහත තත්ත්වය හමුවේ අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව හරහා මෙවැනි සුළං ධාරා පැවතුන අතර තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් වැසි ඇතිකිරීමට වඩාත් සුබදායක වන පරිදි සුළං ධාරා දිවයින ආසන්නයේ දී අභිසාරී වීමක් හෙවත් එකතුවීමක් ද සිදුවුනි. මෙය සාමාන්‍ය නිරිතදිග මෝසම් සුළං ආකාරයටම ක්‍රියාත්මක වූ බැවින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණි. මීට සමගාමීව එල්-නිනෝ බලපෑමද යම් පමණක දුර්වල වීමක්පෙන්වූ අතර ඉහත දැක්වූ සුළි සුළං හේතුවෙන් ඇතිවූ සුළං ධාරාව දුර්වල තත්ත්වයෙන් අඩු වැඩි වෙමින් පැවති බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වයඹ පළාතේ සමහර ප්‍රදේශවලටත් අගෝස්තු මාසයේ අවසානයේ සිටම වැසි ලැබුණි.

2023 අගෝස්තු 29 දින සුළං රටාව

දිවයින ආශ්‍රිතව සුළං එකතුවීම සහ සුලි කුණාටු වල පිහිටීම දක්වා ඇත. (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

එල්-නිනෝ කාල සීමාවේදී පැවති ඉහළ උෂ්ණත්වය හමුවේ පහසුවෙන් ජලය වාෂ්ප වීමේ හැකියාව පවතින අතර මේ නිසා සාගරයෙන් වටවී ඇති ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉහළ වායුගෝලයේ බොහෝ ජලවාෂ්ප පැවතීම අනිවාර්ය වේ. අගෝස්තු මාසයේ පැසිපික් සාගර කලාපයේ පැවති සුළි කුණාටු දුර්වල වීමත් සමග ලංකාව ආශ්‍රිතව පැවති නිරිත දිගින් හමා ගිය තරමක් ප්‍රබල සුළං ප්‍රවාහයද දුර්වල විය. මේ නිසා ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉහළ වායුගෝලයේ ජල වාෂ්ප වෙනත් කලාපයක් කරා ඇදී යෑමේ හැකියාව අඩුවිය. එසේම සාමාන්‍යයෙන් වායුගෝලීය සංසරණය සිදුවන චක්‍රීය (වෝකර් චක්‍රය/Walker cell) මාර්ග වල වාතය ඉහළ නගින සහ පහළ බසින ප්‍රදේශ අතර ශ්‍රී ලංකාව පවතින බැවින් ක්‍රියාවලි මගින් ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ ජල වාෂ්ප ඉවත්වීම ද සාපේක්ෂව අඩුය.

එල්-නිනෝ කාලයේ දී ගෝලීය සුළං

චක්‍ර අතර ශ්‍රී ලංකාවේ පිහිටීම රතු කවයෙන් දැක්වේ. (ඡායාරූපය අන්තර්ජාලයෙනි/NOAA Climate.gov)

මේ නිසා සැප්තැම්බර් මාසය පමණ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඉහළ තාප ප්‍රමාණයක් උරා ගනිමින් වාෂ්ප වූ ජලය පවතින නිසා නිර්මාණය වන්නේ ඉතා අස්ථායි වායු ගෝලයකි. ස්වභාවධර්මය නිබඳවම පරිසර තුල්‍යතාව ආරක්ෂා කිරීමට ක්‍රියා කරනු ලබයි. කාබන් චක්‍ර, ජල චක්‍ර සහ නයිට්‍රජන් චක්‍ර ආදිය මගින් මෙම ස්වභාවික තුල්‍යතාව ඉතාමත් ම පැහැදිලි වේ. එසේම ශක්ති තුල්‍යතාවක් ද ඇති කරයි. සාගර දියවැල් මගින් සහ සුළි කුණාටු මගින් සිදු කරන්නේ ද යම් ස්ථානයක ගැබ්වී ඇති ශක්තිය මුදා හැරීමයි. මේ අනුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව ජලවාෂ්ප මඟින් ලබාගෙන ඇති ඉහළ තාපය ද මුදා හැරිය යුතුය. ඒ සඳහා පවතින වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ ජල වාෂ්ප සිසිල් වීම මගින් තාපය මුදා හැරීමයි. මෙසේ තාපය මුදා හරිමින් ජලවාෂ්ප ඝනීභවනය වන විට ද්‍රව ජලය බවට පත් වෙමින් වර්ෂාව ඇති වන බව පැහැදිලිය. මේ අනුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මස වල සාමාන්‍ය තත්ත්වය මෙන්ම වැසි ලැබීමට හිතකර අමතර තත්ත්වයන් පැවතුණි.

පෘථිවියේ උත්තර අර්ධ ගෝලයේ සිට එන සුළං සහ දක්ෂිණ අර්ධ ගෝලයේ සිට එන සුළං එකට හමු වන කලාපය අන්තර් නිවර්තන අභිසාරී කලාපය (ITCZ( Intretropical Convergence Zone) ලෙස හැඳින්වෙයි. මෙසේ දෙපසින් එන සුළං ධාරා එකිනෙක හමු වූ විට කළ හැකි එකම ක්‍රියාවලිය වන්නේ ඉහළ වායුගෝලයට ගමන් කිරීමයි. සාගර හරහා පැමිණෙන මෙම සුළං ධාරා ජල වාෂ්පයෙන් ඉතා පොහොසත් වන අතර ඒවා ඉහළ නැගීමේ දී ඉතා පහසුවෙන් කැටි වැහි වලාකුළු වර්ධනය වීමක් සිදුවෙයි. මෙම අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ සුළං වේගය සැලකිය යුතු තරම් අඩු බැවින් එම කලාපය තුළ ප්‍රබල අකුණු සහ තද වැසි ලබා දෙන කැටි වැහි වලාකුළු වර්ධනය වීම ඉතා පහසුය. ඔක්තෝබර් මාසය වනවිට අන්තර් නිවර්තන අභිසාරී කලාපය හරියටම ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපයේ පිහිටන නිසා ප්‍රබල අකුණු සහිත වැසි ලබාදීමේ අනතුරුදායක තත්ත්වය තවදුරටත් වැඩිවේ.

අන්තර් මෝසම් කාලයේ දී අන්තර් නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාව ආශ්‍රිත පිහිටන ආකාරය සහ එම ප්‍රදේශවල වලාකුළු වර්ධනය වන අකාරය (ඡායාරූපය අන්තර්ජාලයෙනි)

සාමාන්‍යයෙන් දිවයිනට වැඩිම වර්ෂාපතනය ලැබෙන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල වන අතර මෙය දෙවන අන්තර් මෝසම් කාල සීමාවයි. සවස් කාලයේදී ඉතා ප්‍රබල අකුණු සහිත ගිගුරුම් සහිත වැසි දිවයින පුරාම පැවතීම මෙම කාල සීමාවේදී සිදු වේ. ඉහත සඳහන් පරිදි අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ එල්-නිනෝ වෙන් පසු ස්වභාවික තුල්‍යතාව ඇති කිරීමේ ක්‍රියාවලිය යන දෙකම එකවර සිදු වීම මගින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සාමාන්‍යයෙන් අපේක්ෂිත වර්ෂාපතනයට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.

ප්‍රබල වැසි හේතුවෙන් ඇතිවන ජල ගැලීම්, ගංවතුර තත්ත්ව සහ නාය යාම් ද ප්‍රබල අකුණු නිසා ඇති වන ආපදා මෙන්ම ක්ෂණික ව කුඩා ප්‍රදේශයකට බලපාන ඉතා ප්‍රබල සුළං ධාරා, එනම් යටි සුළං පහර හෝ ටොනෑඩෝ ඇතිවීම මෙම කාලසීමාවේදී ජන ජීවිතයට ප්‍රබල ලෙස බලපෑම් කරන බැවින් ඒවායින් සිදුවන හානිය අවම කර ගැනීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

කාලගුණ විද්‍යාඥ
චමින්ද ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment