මහ කුඩ්ඩෝ කොළඹ සුපිරි ගෙවල්වල: අනුන්ගේ නම්වලටත් නිවාස අරන්

532

මුදලුත් ආයෝජනය කරලා

නිවාස පරීක්‍ෂාවට ආරක්‍ෂක අංශ සූදානමක්

මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණවල මහල් නිවාස මිලට ගෙන ඒවා සිය ආරක්‍ෂිත නිවස්න ලෙස යොදා ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

මෙම ජාවාරම්කරුවන් ඇතැම් සුපිරි මහල් නිවාස අධික මිල ගණන් යටතේ මාසික කුලී පදනම මත ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය ජාවාරම් ආරක්‍ෂිතව කරගෙන යෑමට යොදා ගන්නා බවද අනාවරණය වී තිබේ.

විවිධ පුද්ගලයන්ගේ නම්වලට මොවුන් මෙම මහල් නිවාස මිලදී ගෙන ඇති අතර අලුතින් ඉදිවන කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල මහල් නිවාස සඳහා පවා මුදල් ආයෝජනය කර ඇති බව වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුපිරි නිවාස සංකීර්ණවල මහල් නිවාස මෙසේ මිලදී ගෙන ඒවා සිය ආරක්‍ෂිත නිවස්න ලෙස යොදා ගන්නේ එම නිවාස පොලිස් නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් නොවන නිසා බවද හෙළිවී ඇත.

පසුගියදා කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශිරාන් බාසික්ගේ පුත්‍රයා කුලී පදනම මත ලබාගෙන තිබූ සුපිරි නිවසක් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබිණි.

එම නිවස නදිම් බාෂික් නමැත්තා විසින් රුපියල් ලක්‍ෂ තුනහමාරක මාසික කුලී පදනම මත ලබාගත් එකක් බව පසුව හෙළිවිය. ශිරාෆ් බාෂික්ට අයත් තවත් මහල් නිවාස කීපයක් පිළිබඳව තොරතුරු පොලිසියට ලැබී තිබේ.

මේ ආකාරයට මෙරට සිටින මෙන්ම විදේශගතව සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, බොරලැස්ගමුව, රාජගිරිය වැනි ප්‍රදේශවල පිහිටි සුපිරි මහල් නිවාස මිලදී ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඉදිරියේදී මෙම සුපිරි මහල් නිවාස පරීක්‍ෂා කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය කටයුතු කරමින් සිටිති.

එමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අසීමිතව උපයන මහා ධනස්කන්ධයෙන් සුපිරි මහල් නිවාස මිලදී ගෙන ඒවා තම වත්කම් ලෙස තබාගැනීමට ද කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment