බුදු සසුනට පමණක් උරුම පාත්තරය

537

පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයටත් පෙර පාත්‍රය ගැන සඳහන් වන නිසා පාත්‍රය යන වචනය හුදු ශාසනික ව්‍යවහාරයක්ම නොවේ. දඹදිව වැසියා පාත්‍රය යන වචනය භාවිතා කොට ඇත්තේ ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ලද භාජනයකටය. අද භික්ෂූන් වහන්සේලා දානය වළඳන භාජනයට පාත්‍රය යැයි කියනු ලැබේ. අද ගිහි ජනතාව ආහාර ගන්නා භාජනයට පාත්‍රය යන නම ව්‍යවහාර නොකරයි. එහෙත් අතීතයේදී පැවිදි නොපැවිදි භේදයක් නොමැතිව ආහාර අනුභවය සඳහා යොදා ගන්නා භාජනය පාත්‍රය යන නාමයෙන් හැඳින්විය.

සිඟමන සඳහා ද පාත්‍රය පාවිච්චි කළ බව පෙනේ. ‘හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගේ ” යන කියමන තුළින් එය තහවුරු වේ. යාචකයා, පූජකයා යැයි සිඟමන් යදින පිරිස් කොටස් දෙකකි. මෙම දෙපිරිසටම සිඟමන සඳහා අවශ්‍ය වූයේ පාත්තරයයි.

පැවිදි බව ලැබීම සඳහා මූලිකව අවශ්‍ය භාණ්ඩ අතර පාත්‍රය සහ සිවුරු ප්‍රධාන වේ. ඒවා නොමැතිව පැවිද්ද ලබාගත නොහැකිය. සිදුහත් බෝසතාණන් වහන්සේට පැවිදි වීමේදී ඝටීකාර බ්‍රහ්මයා පාත්තර සිවුරු පූජා කළ බව සඳහන් වේ. පැවිදි වූ බෝසතාණන් වහන්සේ අනුපිය අඹවනයට පිවිස සතියක් පමණ එහි වැඩසිට පැවිද්දෙන් අටවන දින රජගහ නුවර පිඬුසිඟා වැඩිය බව සඳහන් වේ. මේ අනුව පැවිද්දේ ප්‍රධානතම අංගය වනුයේ පිඬුසිඟා යැපෙන ආහාරයෙන් හෙවත් පිණ්ඩපාත දානයෙන් පෝෂණය වීමයි.

“පිණ්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා” යැයි දක්වා ඇති පරිදි පැවිද්ද පිණ්ඩපාත භෝජනය නිසා පවතින දෙයකි. පිඬුසිඟා යෑම භික්ෂු ආජීවය පාරිශුද්ධියට පත් කරන්නකි. බදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ගෙපිළිවෙළින් පිඬුසිඟා වැළඳූහ. අදත් එම චාරිත්‍රය අනුගමනය කරන ඇතැම් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන්ම යැපෙති.

පිඬුසිඟා යෑම භික්ෂු ආකල්පයක් වුව ද බුදු සමයේ එය අනිවාර්ය අංගයක්ම නොවේ. “දිවි ඇති තෙක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත භෝජනය වැළඳිය යුතුය.” යන දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ කැමැති කෙනකුට එසේ කළාට වැරදක් නැතැයි දේශනා කළහ.

දානය සඳහා විශේෂ ආරාධනාවක් නොමැති සෑම දිනයකම පිඬුසිඟා වැඩම කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිත විය. කිඹුල්වත්පුර නුවරට වැඩම කළ අවස්ථාවේ කිසිවකු බුදුරජාණන් වහන්සේට පසුදින දානයට ආරාධනා නොකළේය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස ද පිරිවරා පසුදින පෙරවරුවෙහි පිඬුසිඟා වැඩියහ. එය දුටු යශෝධරා දේවිය සිය මාමණ්ඩිය වූ සුද්ධෝධන රජු වෙත ගොස් ඔබ පුතණුවන් මහමඟ පිඬුසිඟා වඩිති යි කීවාය. මේ පුවත ඇසූ විගසම කලබල වූ රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, මෙසේ පිඬුසිඟා අපිට ලැජ්ජා කරන්නේ ඇයිදැයි” ඇසීය. එවිට “මහරජ, මේ අපේ වංශයේ සිරිත”යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. පසුදින සුද්ධෝදන රජුගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සිය භික්ෂු සංඝරත්නය සමඟ දානය සඳහා රජමාලිගාවට වැඩම කළහ.

ගෙපිළිවෙළින් යෑම පිඬුසිඟා යෑමේ විශේෂ අංගයකි. ලොකු, කුඩා, දුප්පත්, පෝසත් භේදයක් නොමැතිව ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යෑම තුළින් භික්ෂු ජීවිතයේ සමානාත්මතා ගුණය මැනවින් තහවුරු කරයි. සෑම ගෙයක් ගෙයක් පාසාම බත් හැලිවල භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බත් ටිකක් ඇති බව මණිකාර කුලුපග තිස්ස තෙරුන්ගේ කථා පුවතෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ සියලු දේ අතහැර පැවදි වන කුල පුත්‍රයාගේ ජීවනෝපාය සඳහා පිණ්ඩපාතය අනුදැන වදාළහ. පාත්‍රය පිඬුසිඟා යෑමට අවශ්‍ය දෙයකි. ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යෑම මගින් ගුණදම් රැසක් භික්ෂුව තුළ වර්ධනය වේ. ඒවා අතර

  1. ලද දෙයින් සතුටුවීම
  2. පහසුවෙන් පෝෂණය කළ හැකි වීම
  3. ස්වල්ප කටයුතු ඇත්තකු වීම
  4. සැහැල්ලු පැවැතුම් ඇතිවීම
  5. සන්සුන් ඉඳුරන් ඇතිවීම
  6. කුලයන් කෙරෙහි නොඇලීම

ආදී ගුණාංගයෝ භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් ඔපවත් ද වෙති.

පිණ්ඩපාත භෝජනයට හා පිඬුසිඟා යෑමට සෑම භික්ෂුවකටම පාත්‍රයක් තිබිය යුතුය.

පාත්‍රයක් නොමැති අයකු උපසම්පදා නොකළ යුතු බවට ශික්‍ෂා පදයක් ද පනවා තිබේ. භික්ෂුවකට පාත්‍රයක් තිබිය යුතුය. පිණ්ඩපාත භෝජන වැළඳිය යුතු යැයි සඳහන් වූවාට වෙනත් ආරාධනා හා සලාක ආදියෙන් ලැබෙන භෝජනයක්, පාත්‍රය හැර විනයානුකූල වෙනත් භාජනත් භික්ෂූන්ට අකැප නැති බව ද මතක තබා ගත යුතු කරුණකි.

භික්ෂූන් වහන්සේ අන්‍යයන් නිසා යැපෙන අයෙකි. යැපීම සඳහා පිඬුසිඟා ජනතාව කරා යා යුතුය. බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයෙහි ගමන් බිමන් යෑමේදී පාත්‍ර සිවුරු ගෙනයති. ඇතැම්හු භික්ෂූන් වහන්සේලා අන්‍යයන් නිසා යැපීම අනුමත නොකරති. භික්ෂූන් වහන්සේලා ද සෙසු අය මෙන් රැකියාවක් කොට දිවි පවත්වා ගත යුතු යැයි කියන්නෝ බුද්ධ කාලයෙහි ද සිටියහ.

“දිනක් බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන කසීභාරද්වාජ බ්‍රහ්මණයාගේ කර්මාන්ත ස්ථානය යම් තැනක ද එතැනට එළඹියහ. ඒ වෙලාවේ කසීභාරද්වාජ බ්‍රාහ්මණයා බත් අනුභව කරමින් සිටියේය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩිසේක. පිණ්ඩපාතය පිණිස වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට මෙසේ කීවේය. “ශ්‍රමණය මම සාන්නෙමි, වපුරන්නෙමි. එසේ කොට අනුභව කරමි. ශ්‍රමණය ඔබ ද එසේ කොට අනුභව කරව”යි කීය. රැකියාවක් නොකර අනුන්ගෙන් යැපෙන පිරිස් රටේ ආර්ථික දියුණුවට බාධාවක් සේ සැලකූ බව ඉහත කථා පුවතින් පැහැදිලි වේ. රොන් පිණිස මල් උයනට යන බඹරා මල් නොතළා මල් පැණි ගන්නාක් මෙන් සිල්වත් පැවිද්දා දායක ගෙවල් කරා පිල් බෙදීමක් නැතිව පිඬුසිඟා යයි. නිහඬ ගහි පැවිදි සම්බන්ධතාවක් පා සිවුරු ගෙන ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යන භික්ෂුව වෙතින් දක්නට ලැබේ.

මේ අයුරින් උසස් ප්‍රතිපදා රැසක් පාත්තරය මුල් කරගෙන දක්වා ඇති බැවින් ඒ පිළිබඳ විනය ප්‍රඥප්තීන් විමසා බැලීම වැදගත්ය. ආහාර අනුභවයට ගන්නා සෑම භාජනයක්ම භික්ෂූන්ගේ පරිභෝජනයට සුදුසු විනයානුකූල පාත්‍ර නොවේ. එම භාජන වෙනත් දේ සඳහා පරිහරණය කිරීමට භික්ෂූන් වහන්සේට තහනමක් නැත. එහෙත් පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨානකොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩා ද නොවූ පමණට වඩා මහත ද නොවූ, නියමිත ජාතියෙන් තනන ලද, සෝදා පිරිසිදු කළ හැකි, කළු පැහැය ගත් පාත්‍රයකි. ඇතුළත මට්ටම් නැති පාත්තරය භික්ෂූන්ට තහනම්ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නොදැරිය යුතු පාත්‍රා රැසක් දේශනා කොට ඇත. ඒවා අතර, රත්තරනින් සෑදූ පාත්‍රය, රිදී පාත්‍රය, මැණික් පාත්‍රය, පළිඟු පාත්‍රය, ලෝකඩ පාත්‍රය, වීදුරු පාත්‍රය, සුදු ඊයම් පාත්‍රය, කළු ඊයම් පාත්‍රය, තඹ පාත්‍රය, දැවයෙන් කළ පාත්‍රය, මිනිස් හිස් කබල පාත්‍රය, නුසුදුසු ඒවාය. එසේම ලබු කබල, වළං කබල, පාත්‍ර වශයෙන් නොගත යුතුය. භික්ෂූන්ට පරිභෝජනය කිරීමට සුදුසු පාත්‍රය ලෙස යකඩ පාත්‍රය සහ මැටි පාත්‍රය අනුදැන වදාළහ. යකඩ පාත්‍රය හා මැටි පාත්‍රය යන දෙකෙන් ද මැටි පාත්‍රය වඩාත් සුදුසුය. පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ද ශික්ෂා රාශියක් චුල්ල වග්ග පාලියෙහි දක්වා තිබේ. එම ශික්ෂාපද උල්ලංඝනය කෙරේ නම් එම භික්ෂුවට දුකුලා ඇවැත් යැයි වදාරා තිබේ.

පාත්‍රා කොපමණ තිබුණත් අධිෂ්ඨාන කරගත හැක්කේ නියමිත ජාතියෙන් නියමිත ප්‍රමාණයට කළ එක් පාත්‍රයක් පමණි. පාත්‍රා කිහිපයක් අධිෂ්ඨාන කළ නොහැකිය. නියමිත පාත්‍රය හැර අතිරේක පාත්‍රයක් දස දිනක් පමණ දැරිය හැකිය. එය ඉක්මවන්නා හට පාත්‍රය නිසඟි වේ. පචිති ඇවැත් ද වේ. එමෙන්ම පස් තැනක් පිළියම් නොකළ පාත්‍රයක් ඇතිව අළුත් පාත්‍රයක් ඉල්ලා ගනීනම් ඒ පාත්‍රය නිසඟි වේ. පචිති ඇවැත් ද වේ

ඉබ්බාට ඉබි කටුව බරක් නොවේ. එය උගේ ආරක්ෂාව පිණිස පවතී. භික්ෂුවට ද පාත්‍රය හා තුන් සිවුරු බරක් නොවේ. ඒවා භික්ෂුවකගේ ආරක්ෂාව පිණිස පවතී. අල්පේච්ඡ සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන භික්ෂුවට පාත්‍රය මාහැඟි ආභරණයකි.

දඩල්ල, වාලුකාරාම වෙහෙර වැසි
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment