මැයි 1 සහ අප්‍රේල් 1

727

එක්දහස් අටසිය ගණන්වල යුරෝපයේ දෛනික වැඩ මුරය ඇතැම් විට පැය 12 කි. ඇතැම් විට පැය 14 කි. මේ කියන කාලයේදී අඳුරු ආසියාවේ සහ වනගත අප්‍රිකාවේ සිටි ජනයා වැඩ මුර සංකල්පයක් ගැන නිකමටවත් අසා තිබුණේ නැත. ඔවුන්ගේ වැඩ මුරයේ පැය ගණන තීරණය කරන ලද්දේ හාම්පුතා විසිනි. හාම්පුතාට යකා නැග්ග විට කම්කරුවෝ පැය 24, 36, 48 යනාදී වශයෙන් එක දිගට වැඩ කළහ. හාම්පුතාට චූන් එකක් ගියවිට දවසක් නිවාඩු ලැබිණ. මේ කාලයේදී ලොව පුරා වහල් මෙහෙය දරුණුවටම පැතිර තිබිණ. වහලාටද, හරකාටද, බූරුවාටද සමතැන ලැබිණ. බල්ලා සහ පූසා සිටියේ ඊට ඉහළිනි. හාම්පුතා විසින් සිය සුන්දර තරුණ නෝනා හැර ඔඩොක්කුවට ගන්නා ලද අන් දෙයක් වේද ඒ වූකලී බල්ලා සහ පූසාය. වහලාත්, හරකාත්, බූරුවාත් ආහාර පිණිස වැඩ කළහ. බල්ලා සහ පූසා වැඩ නොකරම ආහාර ලදහ. අඳුරු ආසියාවට සහ වනගත අප්‍රිකාවට මේ ක්‍රමය හරි ගියත් යුරෝපයට මෙය ඇල්ලුවේ නැත. හාම්පුතාගේ පිස්සු කෙළිය තවදුරටත් දරානොගනිමියි තීරණය කළ ඇමරිකානු කම්කරු පිරිසක් 1886 මැයි මස 1 දා චිකාගෝ නුවරට එක්වී පැය 8 වැඩ මුරයක් ඉල්ලා උද්ඝෝෂණයක් පටන්ගත්හ. මේ උද්ඝෝෂණයට මුලින්ම සහභාගි වූ පිරිස 100 කි. එහි තෙවැනි දිනය වනවිට කම්කරුවෝ 65000 ක් චිකාගෝ උද්ඝෝෂණයට එක්ව සිටියහ. පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කම්කරුවන්ගේ දණහිසෙන් පහළට වෙඩි තබන ලදී. එහෙත් තුවක්කුව එම එල්ලයට විරුද්ධ වූ බැවින් කම්කරුවෝ 4 ක් හිසට වෙඩි වැදීමෙන් මළහ. පැය 8 කම්කරු අයිතිය දිනාගැනීම සඳහා එදා පැවති ඒ උද්ඝෝෂණය අදටත් ලෝකයේ හැම රටකම සමරනු ලැබේ. එදා චිකාගෝ කම්කරු උද්ඝෝෂණය පිටුපස කිසිදු දේශපාලනයක් තිබුණේ නැත. එහෙත් ඊට ශත වර්ෂ එකහමාරකට පමණ පසු අද වනවිට මැයි දිනය පිටුපස ඇත්තේ දේශපාලනය පමණක්මය. ශ්‍රී ලංකාවේ වැඩිදෙනා අද වනවිට පැය 8 වැඩ මුරයට කැමති නැත. ඔවුන් පැය 10, 12, 14, 24 යනාදී වශයෙන් වූ OT වැඩ මුරවලට ඉතා කැමැත්තාහ. එක්දහස් අටසිය අසූ ගණන්වලදී චිකාගෝ නුවර විසූ දුප්පත්ම දුප්පත් වැරහැලි අඳින ගඳම ගඳ ගංජා සුරුට්ටු හෝ හොර මත්පැන් බොන කම්කරු පංතියක් හෝ කම්කරු නායකත්වයක් නූතන ලෝකයේ (ලංකාවද ඇතුළුව) දක්නට නැත. අද සිටින කම්කරු පංතිය මධ්‍යම පාන්තික ශ්‍රමික කොටසකි. එම කම්කරු පන්තියේ නායකත්වය හොඳ යාන වාහනවල ගමන් ගන්නා කම්කරු සමුළු සඳහා නිතර පිට රට යන පිට රටදී ආතල් ගැනීමට කැමති අය වෙති. එබැවින් කම්කරු ව්‍යාපාරයට අලුත් ස්වරූපයක් ලැබී තිබේ. කම්කරුවා නාවර පෙරාගත් හැලි වඳුරකු සේ පෙනී සිටීම කිසිවෙක් බලාපොරොත්තු නොවිය යුතුය. යමෙක් එසේ බලාපොරොත්තු වෙත්ද ඒ කුහකකමකි. ඒ අනුව මැයි දිනය අලුතින් අර්ථකථනය කිරීම සඳහා කාලය පැමිණ තිබේ. නව අර්ථ කථනයක් දීමට නම් මැයි දිනය සංයුතිය පිළිබඳ වෝහාරික විගණනයක් කළ යුතුය. නූතන කම්කරු පන්තිය වඩාත් හොඳ ජීවන තත්ත්වයක් හිමි පිරිසක් බවත් සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම සඳහා ඔවුන් හැම දෙනකු අතම ස්මාර්ට් ෆෝන් ඇති බවත් ඔවුන් මිල අධික කොත්තු රොටි කන බවත් මෙහිදී අපට පෙනී යනවා ඇත. මේ පිරිස එක්දහස් අටසිය ගණන්වල ඇමරිකාවේ හෝ එංගලන්තයේ සිටි අල සහ ගෝවා පමණක් බුදින කම්කරු පන්තියෙන් ගැලවී වඩාත් ශිෂ්ට සම්පන්න ජීවිත ගතකරන බව අපට හඳුනාගත හැකිය. එබැවින් මැයි දිනය යනු කම්කරු දිනයක් නොව නවීන ශ්‍රමික දිනයක් බව අපට තේරුම්ගත හැකිවනවා ඇත. ඒ නවීන ශ්‍රමිකයා වැඩි වැටුප් වැඩි පහසුකම් හෝ සීමාසහිත සේවා මුර වෙනුවෙන් නොව විවිධ දේශපාලන අරමුණු උදෙසා වැඩ කරන පිරිසක් බවත් අපට වැටහෙනවා ඇත. ඒ නිසා මැයි දිනයට අලුත් නමක් ලබාදිය යුතුව තිබේ. එම නම නවීන දේශපාලන ශ්‍රමික දිනය ලෙස හඳුන්වාදිය හැකි නම් එම ව්‍යාපාරයට වැඩි විභවයක් ලැබෙනවා ඇත.

මනුෂ්‍යයා නමැති හුස්ම ගන්නා සමාජ සාධකය නිර්මාණය කරන ලද්දේ ස්වභාව ධර්මය සහ ශිෂ්ටාචාරය විසිනි. මේ දෙකම යොදාගෙන ගස්වලින් බිමට බැස මහ පොළවේ ගෙවල් හදාගෙන ජීවත්වීමට පටන්ගත් මනුෂ්‍යයා පසුකාලය වනවිට ශිෂ්ටාචාරයට පයින් ගසා ස්වභාව ධර්මයට මුත්‍රා කළහ. මුත්‍රා තුළ යූරියා නමැති සංඝටකය යම් තරමකට තිබේ. මේ නිසා හිතෙන තරම් ඉක්මනින් සොබාදහම වැනසීමට මනුෂ්‍යයාට නොහැකි විය. යූරියා යනු කදිම පොහොරකි. මනුෂ්‍යයා නිසා සොබාදහම එක් පැත්තකින් වැනසෙද්දී අනෙක් පැත්තෙන් ගොඩඑන්නේ මේ යූරියා සිද්ධිය නිසාය. ශිෂ්ටාචාරයට පයින් ගැසීම සඳහා ද මිනිසා විටින් විට උත්සාහ කරයි. එහෙත් හිට්ලර්, ප්‍රභාකරන්, පොල්පොට් වැනි රකුසන්ට මිනිස් වෙස් ලැබීම නිසා ශිෂ්ටාචාරයට බරපතළ ලෙස තුවාල විය. මෙසේ තුවාල වූ ශිෂ්ටාචාරය තුළින් අද එළියට එන එකා අංග සම්පූර්ණ සමාජ විකෘතියකි. මෙවැනි සමාජ විකෘතීන් දේශපාලනයට කාන්දු වූ විට දේශපාලනය අල වෙයි. එසේම මෙබඳු සමාජ විකෘතීන් කම්කරු ව්‍යාපාරයට එක්වූ විට එම කම්කරු ව්‍යාපාරයද අල වෙයි. අල යනු අප හිතන තරම් හොඳ කෑමක් නොවේ. එහි පොත්තට යාබදව මැග්නීසියම් තිබුණත් මිනිසුන් පොතු ගලවා අල කෑමට පුරුදුවී සිටින බැවින් අපට ලැබෙන්නේ පිෂ්ටය පමණි. මෙසේ පිෂ්ටය පමණක් අනුභව කර මෝඩයන් බවට පත්වූ ආත්මාර්ථකාමී ගොං ඩයල් කිහිපයක් මගින් මෙකල මේ රටේ දේශපාලනයේ ඉරණම විසඳනු ලැබේ. මැයි දිනයට එකතුවිය යුත්තේ ප්‍රගතිශීලී කම්කරුවන් පමණි. එයට දේශපාලන මී හරකුන් එකතු වූ විට හටගන්නේ දේශපාලන හරක් ගාලකි. අද පැවැත්වෙන මැයි දින උළෙල සඳහා පාරට බසින කිසියම් පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාම කිසියම් දේශපාලන පක්ෂයක හෝ මතවාදයක හෝ ව්‍යාපාරයක හෝ කොටස්කරුවන් බව අපි විශ්වාස කරමු. කිසියම් පිරිසක් බස් කුලියට ගෙන මැයි රැලියට සහභාගි වීම සඳහා පිට පළාත් වලින් කොළඹ පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම එම ගමන පිටුපස අරක්කු, බුරියානි සහ මුදල් කොළ තිබේ. අරක්කුත්, බුරියානිත්, මුදල් කොළත් නැතිව ස්වෙච්ඡාවෙන් කෙරෙන ශ්‍රමික ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකරගත හැකි වුවද එසේ නොවන අය සම්බන්ධයෙන් කිසිදු බලාපොරොත්තුවක් තබාගැනීමට නොහැක. අපට ඇත්තේ විතැන් වූ මැයි දිනයකි. එම විතැන ඉවත්කර මැයි දිනයට හිමි නිසි තැන ලබාදීමෙන් එය නැවත වරක් පුනරුත්තාපනය කරගැනීමට පුළුවන. 1800 දී මෙලොව තිබූ බංකොලොත් සමාජය යළි කිසි කලෙකත් පහළ වන්නේ නැත. එබැවින් මැයි දිනයේ පරමාර්ථය වෙනස්කරගෙන ඉදිරියට යෑමට නවීන ශ්‍රමික පන්තියට බැරි වුණොත් මැයි 1 දා සහ අප්‍රේල් 1 දා අතර කිසිදු වෙනසක් ඇති නොවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment