දැඩි සත්කාර ඇඳන් 70 න් 63 ක්ම පිරිලා:  පීසීආර් – රැපිඩ් ඇන්ටිජන් වැඩි කරයි

167

ජනතාව නිසි ලෙස කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර එකවර සාමාන්‍ය හැසිරීම් රටාවකට යෑමට උත්සාහ කළහොත් ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් හමුවේ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් දැඩි සත්කාර එකක පිරි යෑම වැළැක්විය නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘දිවයින’ට පැවසීය.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 70න් 63 ක්ම දැනටමත් පිරී ගොස් ඇතැයි ද ඉදිරියේදී එය තවත් වැඩි වීමට ඉඩ ඇති බව ද එම නිලධාරියා කීවේය.

ඊයේ (27දා) වන විට කොළඹ ජාතික, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (උණ රෝහල), හෝමාගම දිස්ත‍්‍රික්, බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා ඇතුළු රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද වාට්ටු පිරෙමින් පැවති බව වාර්තා විය. කොළඹ ජාතික රෝහලේ හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වාට්ටු හා දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉක්මවා යන තත්ත්වයක් පැවති බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙම දිනවල කොරෝනා ආසාදනය වැළඳීමෙන් රෝහල්ගත කෙරෙන ආසාදිතයන් අතර වයස අවුරුදු 60 ඉක්මවූවන් මෙන්ම තරුණ තරුණියන් ළමුන් හා ගැබිනි කාන්තාවන්ද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට කොළඹ හා ගම්පහ ඔමික්‍රෝන් මුල් කරගත් කොරෝනා වසංගතය පැතිරීම ශීඝ‍්‍රයෙන් සිදු වන ස්ථාන (හොට් ස්පොට්) වැඩි වශයෙන් පවතින දිස්ත‍්‍රික්ක බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ. මේ වන විට දිවයිනේ සෑම පළාතකටම පාහේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය පැතිර තිබිය හැකි නිසා අත්‍යවශ්‍යම කාර්යයක් සඳහා එළිමහනට ගියද මහජනතාව නාසය මුඛය හොඳින් ආවරණය වන ලෙස මාස්ක් පැළඳීම, එකිනෙකා අතර මීටරයකවත් දුරක් පවත්වා ගැනීම හා දෑත් නිතර සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදාගෙන හොඳින් පිරිසිදු කරගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් තුන අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව විශේෂඥ වෛද්‍යවරු පවසති. කොරෝනා එන්නත් ලබා ගත් නොගත් සියලූ දෙනා මෙම සෞඛ්‍ය පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු අතර විශාල පිරිස් වශයෙන් ඒකරාශී වීමෙන් වැළකිය යුතුය.

විවාහ මංගල්‍යය, අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුකූලව සංවිධානය කිරීම මෙන්ම එවැනි අවස්ථාවන්ට සහභාගි වීමේදී සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම, බැංකු, සුපිරි වෙළෙඳසල්, සාප්පු, කඩ සහ සිනමා ශාලා වැනි පොදු ස්ථානවලට යෑමට සෙන`ග නොමැති අවස්ථාවක් තෝරා ගැනීම සුදුසු බව ඔවුහු කියා සිටිති. හෝටල් හා ආපන ශාලා වෙත ගොස් පිරිස් වශයෙන් ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීමද කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට මගපාදනු ඇති බව එම වෛද්‍යවරු සඳහන් කරති.

කොරෝනා වැළඳුණු විට අසාධ්‍ය තත්ත්වයට පත් වීම, රෝහල්ගතවීම හා මරණයට පත් වීමෙන් වැළකී සිටීම සඳහා කොරෝනා එන්නත් මාත‍්‍රාවන් දෙක මෙන්ම බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබා ගැනීම ද වැදගත් බව වෛද්‍ය මතය වී තිබේ.

මේ අතර පසුගිය මාස කිහිපයේදී දිනකට මෙරට සිදු කෙරුණු 10,000ක් පමණ වූ පී. සී. ආර්. හා රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට දිනකට 15,000 -16,000 අතර සංඛ්‍යාවක් දක්වා වැඩි කර ඇති බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වාර්තා කරයි.

මෙරටින් මෙම දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවට අනුව මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,050ක් වන අතර ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 712ක් බව ලොව පුරා රටවල කොරෝනා ආසාදිතයන් සම්බන්ධ තොරතුරු වාර්තා කරන වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment