ත්‍රිමලේ නාවික පුහුණු මධ්‍යස්ථානයක් දාන්න ප්‍රංශය අවසර ඉල්ලලා – ප්‍රංශ ජනාධිපති ආපු රහස ඒකයි

147

උදය ගම්මන්පිල

ප්‍රංශ ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලයේ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවසර ඉල්ලා තිබෙන බවත් ප්‍රංශ ජනාධිපතිගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයට හේතු වුණු රහස එය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ ( 16 දා) පැවසීය.

එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය. හෙතෙම මෙසේ ද පැවසීය.

ප්‍රංශ ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලයේ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවසර ඉල්ලලා. අපට තිබෙන තොරතුරු අනුව ආරක්ෂක අමාත්‍යාංශය නිරීක්ෂණ ඉල්ලුවාම නාවික හමුදාව බොහොම ඉහළින් ඒක අනුමත කරලා. ජාතික බුද්ධි සේවාව නම් මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා විරෝධය පළ කර තිබෙනවා. එක පැත්තකින් ඉන්දු – ලංකා සබඳතාවලට අහිතකරව බලපාවි කියන එක. අනිත් පැත්තෙන් මේක නරක පූර්වාදර්ශයක් වෙලා ඇමෙරිකාව, චීනය, එක්සත් රාජධානිය වගේ අනෙකුත් බලවතුන්ටත් කඳවුරු හදා ගන්න ඉඩ දෙන්න වේවි. ඒ නිසා ලෝක බලවතුන් එකිනෙකා ගැටෙන පුංචි ලෙබනනයක් බවට ලංකාව පත්වේවි කියන එකයි බුද්ධි අංශ පෙන්වා දී තිබෙන්නේ. අලි ගැටෙනවා අපි තැලෙනවා කියලා තමයි කියන්න වෙන්නේ.

අපි දකින විධියට මේ එන්නේ ප්‍රංශය නොවේ. නේටෝ

ගිවිසුම හරහා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බටහිරට නායකත්වය දෙන ඇමෙරිකාව. යුද විශේෂඥයන් කියන විධියට ඉදිරි සියවසේ ලෝකයේ බල කේන්ද්‍රය වන්නේ ඉන්දියානු සාගරය. මේක හඳුන්වන්නේ ආසියාවේ සියවස කියලා. ලොව නැගී එන සුපිරි බලවතුන් වන්නේ චීනය සහ ඉන්දියාව. එහි දී ඉන්දියානු සාගරයේ හරි මැද පිහිටි ලංකාව ලෝකයේ වැදගත්ම රට බවට පත් වෙනවා. ඒ නිසා ලංකාව තුළ පදනමක් හදා ගන්න ලෝකයේ සෑම සුපිරි බලවතකුටම වුවමනායි. ඇමෙරිකා එක්සත් ජනපදය 2016 දී ඇක්සා, සෝෆා සහ එම්සීසී ගිවිසුම් හරහා ලංකාවට ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් අපි ස්ටොප් යූඑස්ඒ සංවිධානය බිහි කරලා ඒක වැළැක්වූවා. මේ රටේ දේශප්‍රේමීන් ඇමෙරිකාවට දක්වන දැඩි විරෝධය නිසා ඇමෙරිකාව දැන් හදන්නේ ප්‍රංශ වෙස් මුහුණ බැඳගෙන ඇවිත් අපිව රවට්ටන්නයි. ඒ හැර ප්‍රංශයට ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තාර්කික හේතුවක් නෑ. වෙස් මුහුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ කියලා අපි ඇමෙරිකාවට කියමු. 2023

අගෝස්තු 9 වැනිදා ජනාධිපතිතුමා අනුව 2009 යුද්ධය අවසන් වන විට හමුදා කඳවුරු පිහිටි යාපනයේ ඉඩම් ප්‍රමාණය අක්කර 26,812ක්. මේ වන විටත් එයින් අක්කර 22,919ක් නිදහස් කරලා ඉවරයි. ඒ කියන්නේ යුදමය අවශ්‍යතා මත හමුදා සතු කරගෙන තිබුණු ඉඩම්වලින් 85%ක්ම දැනටමත් නිදහස් කර ඉවරයි. දැන් හමුදාව සතුව තිබෙන්නේ උතුරු පළාතේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය කරන හමුදා කඳවුරු පවත්වාගෙන යාමට අදාළ ඉඩම් පමණයි. නමුත් ජනාධිපතිතුමාගේ බලපෑම මත තවත් අක්කර 377ක් ඉදිරි මාස හය ඇතුළත නිදහස් කරන්න හමුදාව එකඟ වෙලා තිබෙනවා. ඒ කියන්නේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය 87% දක්වා ඉහළ නගිනවා. නමුත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සංධානයේ දේශපාලකයන්ගේ මනදොල සපුරන්න තවදුරටත් හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා බලපෑම් එල්ල කරනවා.

තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් හඳුනා ගන්න මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ජුලි 5 දා කමිටුවක් පත් කරලා හමුදාවට දැඩි පීඩනයක් ගේනවා තවත් ඉඩම් නිදහස් කරන්න කියලා. ඒ කමිටුව තම වාර්තාව ජූලි 22 දාට භාර දිය යුතුයි කියා තිබෙනවා. ඒක දැන් දීලා ඇති. ඒ කියන්නේ නිදහස් කළ හැකි ඉඩම් හඳුනා ගන්න අවස්ථාව දීලා තිබෙන්නේ දින 17කටත් අඩු ගණනක්.

ගුවන් හමුදාවට සෑම විටම අහසේ ඉන්න බෑ. නාවික හමුදාවට සෑම විටම මුහුදේ ඉන්න බෑ. මේ සෑම අයටම කඳවුරු අවශ්‍යයි. ඒ සඳහා භූමිය අවශ්‍යයි. යුද්ධයට පෙරත් වැඩිම කඳවුරු ගණනක් තිබුණේ උතුරේ. ඒ නීති විරෝධි සංක්‍රමණිකයින් නීති විරෝධි භාණ්ඩ රට තුළට පැමිණෙන්නේ උතුරු පළාතෙන්. ඒ වගේම වසර 2,600ක් පුරා ලංකාව මුහුණ දුන් ආක්‍රමණ 21න් 17ක දීම ආක්‍රමණිකයා පැමිණ ඇත්තේ උතුරු පළාතෙන්. බෙදුම්වාදයක් පැන නැගුණේ උතුරු පළාතෙන්. එහෙම නම් හමුදා කඳවුරු වැඩිපුරම තිබිය යුත්තේ උතුරු පළාතේ මිස වෙන කොහේවත් නොවේ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment