සරාසඳ බැසගොස් විසිහත් වසරකි

398

කාලිදාසයන්ගේ, වාල්මිකීගේ එසේත් නැතිනම් මැක්සිම් ගෝර්කිගේ, තෝල්ස්තෝයි ගේ හෝ දොස්තොව්ස්කිගේ මව හෝ පියා කවරෙක් දැයි සෙවීමට අප වෙහෙසිය යුතු නැතැයි මම සිතා සිටියෙමි. ඒවා ඕපාදූප නොවේදැයි මට එකල සිතිණ. එහෙත් වැදගත් සාහිත්‍ය කෘතීන් ලොවට දායාද කළ මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ තොරතුරු සෙවීමට, ඔවුන් අයත් වූ ජාතීන් යුහුසුළු වීම තුළ ඕපාදූප සෙවීමට වැඩි යමක් එනම් මානුෂික ගුණධර්මයක් ගැබ්ව ඇති බව පසු කලෙක මට අවබෝධ විය. ඔවුන්ට සෙවණ දුන් නිවස, ඔවුන් පරිහරණය කරනු ලැබූ භාණ්ඩ ජාතික වස්තුන් සේ සලකා පිදීමට තරම් බොහෝ ජාතීන් කෘතඥ වී ඇති බව පෙනෙන්නට තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ආගිය තොරතුරු සෙවීමට විද්වතුන් පෙළඹී ඇත්තේද ඒ නිසා විය හැක. සිංහල නාට්‍ය වංශ කථාවේ ප්‍රදීපස්ථම්භය වූ කලී අපට සිහියට නැගෙන්නේ, මනමේ නාටකයයි. එතැන් සිට නාට්‍ය වංශ කථාවේ රතඹර ලෙසින් ප්‍රකට වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. එතුමන් මෙලොවින් සමුගෙන 2021 අගෝස්තු මස 16 වන දිනට පුරා විසිහත් වසරක් සපිරුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1956 වසරේ මනමේ නාටකය නිෂ්පාදනය වූ දා සිට මේ දක්වා කාලය වසර හැටහතකි. ඉතා පැරණි ඉතිහාසයක් ඇති සිංහල නාට්‍ය කලාවේ වසර හැටහත ගමන් මග විමසීමට අප සැරසෙන්නේ නියත වශයෙන්ම සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානය මනමේ නාටකයෙන් ඇරඹුණු බව කවුරුත් පිළිගත් නිසා බැවිනි. එහෙත් එම ගමන් මගෙහි පිය සටහන් දෙස බලන විට වඩා උසස් තත්ත්වයට සිංහල නාට්‍ය කලාව පැමිණ ඇත්ද යන්න සැකයකි. දැනට අවුරුදු හැටහතකට පෙරද නාට්‍ය නිෂ්පාදනය කළ සරච්චන්ද්‍රයන් මෙරට පැවති සම්ප්‍රදායක් මත ගොඩ නැගුණු උදාර ගැමි නාට්‍ය කලාවත් දෙමළ ගැමි නාට්‍ය කලාවත් අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාව එදා හොඳින් වටහා ගත්තා පමණක් නොව අන් ආසියානු රටවල නාට්‍ය කලාවන්ද අධ්‍යයනය කළේය.

මෙලොව ඉපදී ප්‍රේමය පිළිබඳ ස්ථීර නිගමනයකට එළඹිය නොහැකි වන අනුකම්පාවෙන් යුත් ස්ත්‍රී වර්ගයාගේ චෛතසික ස්වාභාවය මොනතරම් අපූරු ලෙස මනමේ තුළින් අප වෙත සරච්චන්ද්‍රයන් ලබාදී ඇත්ද යන්න මහා දුක්ඛාන්තයක් ලෙස අප ඉදිරියේ දිගහැරෙන මනමේ නාටකයෙන් ධ්වනිත වේ. මෙවැනි ජීවන දැකීමක් මීට පෙර කිසිදු නාට්‍යයකින් ඉදිරිපත් කොට නැත.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හසළ දැනුමක් තිබූ එතුමා “සිලෝන් ඩේලිනිවුස්” පුවත්පතේ සේවය කොට 1939 වසරේදී භාරතයේ රවීන්ද්‍රනාත් තාගෝර් යටතේ ශාන්ති නිකේතනයේදී භාරතීය දර්ශනය හා සංගීතය පිළිබඳව පුළුල් ලෙස හැදෑරීම් කරන ලදී. කෙටිකලක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ එතුමා කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක්වූහ. එමෙන්ම පෙරදිග දර්ශනය පිළිබඳව‘ශාස්ත්‍රපති’ උපාධිය දිනාගත් එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් වී පෙරදිග භාෂා පීඨයේ පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳව කථිකාචාර්ය ධුරයට පත්විය.

නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණ කළ එතුමා ජපානයේ නෝ, කබුකි නාට්‍ය පිළිබඳව පුළුල් ලෙස හැදෑරීම් කරන ලදී. 1943 දී ඵදාැබ ීසබය්කැසෙජසඑසදබ නමින් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් සම්පාදනය කරන ලදී. එහි සිංහල කෙටිකතා හා නවකතා පිළිබඳව ඉතා විශිෂ්ඨ විචාරයක් ඇතුළත්ව තිබිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී දිගින් දිගටම දේශීය නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණ කළ සරච්චන්ද්‍රයන් ඔයැ ීසබය්කැිැ දෙකන චක්හ “සිංහල ගැමි නාටකය” නමින් විශිෂ්ට පර්යේෂණ ග්‍රන්ථයක් ලියා පළ කරන ලදි. එය ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස අදටත් භාවිතා කෙරේ.

සිංහල නාට්‍ය වංශකථාවේ පෙර ගමන්කරු හෙවත් ප්‍රදීපස්ථම්භය ලෙස විරුදාවලි ලත් සරච්චන්ද්‍රයන් නාඩගම්, කෝලම්, වැදි නැටුම් මේ සියල්ල මැනවින් හදාරා රෂොමාන් කථාව චුල්ලධනුග්ගහ ජාතකය ද ඇසුරු කරගෙන 1956 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය අනු මණ්ඩලය මඟින් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ප්‍රථම වරට ‘මනමේ නාටකය’ රඟ දක්වන ලදී. ශ්‍යාමන් ජයසිංහ, බෙනඩික් සිරිමාන්න, එඩ්මන් විජේසිංහ, ටි්‍රලීෂියා අබේකෝන් පසුව ටි්‍රලීෂියා ගුණවර්ධන ආදීන් හා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ද සමඟින් එක්ව ලාංකීය නාට්‍ය නව මාවතකට යොමුකරවන ලදි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය ලුඩොවයික් සමඟ ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය කොට රඟ දක්වන ලදි. මුදලාලිගේ පෙරළිය, කපුවා කපෝති, වලහා, බහින කලාව, සංස්කෘතික කොමසාරිස්ගේ සත්ව කරුණාව, තරුණ ලේඛකයා ආදිය ඉන් ප්‍රධාන වේ. සිංහල නාට්‍ය වංශය වෙනත් මගකට යොමුකළ අද්විතීය නිර්මාණයකි. 1961 වසරේදී සරච්චන්ද්‍රයන් නිෂ්පාදිත “සිංහබාහු” නාටකය ප්‍රථම වරට පේරාදෙණිය සරසවියේ දී රඟ දැක්වූ එය ලාංකීය ජාතිකයන් අතර මෙන්ම ලෝක ප්‍රසිද්ධ අද්විතීය නිර්මාණයක් ලෙස ප්‍රකට විය.

ලේඛකයකු වූ සරච්චන්ද්‍රයන් විසින් කෙටිකතා, නවකතා, නාට්‍ය මෙන්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද රාශියක් ලියා පළකොට තිබේ. කාලයාගේ ඇවෑමෙන් 1969 මායා රූපය, 1974 රූප සුන්දරී, 1984 ගෘහනිය උපාසිකාව හා මිඩිය 1994 යනු එතුමාගේ කෙටිකතා අතරින් කිහිපයකි. මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, 1959 වල්මත් වී හසරක් නුදුටිමි, 1962 ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්තනය, හෙට එච්චර කළුවර නෑ 1975, විලාසිනියකගේ ප්‍රේමය නම් චම්පු කාව්‍ය 1988 එතුමාගේ නවකතා අතර ප්‍රධාන වේ.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතර මනමේ, සිංහබාහු, පබාවතී, බහින කලාව හා තවත් නාට්‍ය, වඳින්න ගිය දේවාලය, එලොව ගිහින් මෙලොව ආව, කදා වළලු, හස්ත කාන්ත මන්තරේ, ගීතාංග නාටකය, මහාසාර, පේමතෝ ජායතී සෝකෝ, බවකඩතුරාව, ලෝමහංස, මඟුල් ප්‍රස්ථාව, රත්තරං, ඒකට මට හිනා හීනා, වළ ඉහගෙන කෑම, වෙල්ලවැහුම්, වටපුළුවේ ගෙවල් බිඳලා, කිරි මුට්ටිය ගඟේ ගියා ආදී නාට්‍ය ප්‍රමාණයක් එතුමා විසින් නිෂ්පාදනය කරන ලදි.

ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ලියා පළ කළ එතුමා “අපේ විත්ති, සාහිත්‍ය විද්‍යාව, සිංහල නවකතාව, කල්පනා ලෝකය, නාට්‍ය ගවේෂණ, අසම්පූර්ණ චාරිකා සටහන්, සිංහල ගැමි නාටකය, වෙස් මුහුණ ද සැබෑ මුහුණද, ධර්මිෂ්ඨ සමාජය ආදී සිංහල ග්‍රන්ථ මෙන්ම Buddhist pychology of perception, The Sinhalese Novel, The Sinhalese folk play එතුමන්ගේ ඉංග්‍රීසි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද ප්‍රධාන වේ. “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි.

මෙරට බිහිවූ අග්‍රගණ්‍ය විද්වතෙකු වූ මහාවාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් බිහි කළ සිසු පරපුර ඉතා විශාල වේ. ඇවිදින පුස්තකාලයක් බඳු එතුමෝ පින්කෙතකි. 1965 දී ලලිතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වූ එතුමා තිදරු පියෙකි. යශෝදරා, කිසාගෝතමී සරච්චන්ද්‍ර්‍ර, යශෝදරා සරච්චන්ද්‍ර හා රංසි සරච්චන්ද්‍ර එතුමන්ගේ දරුවන් වේ. ලාංකීය විශ්වවිද්‍යාල කිහිපයකින්ම “සාහිත්‍ය සූරී” උපාධියෙන් පිදුම් ලද එතුමා භාරත දේශයෙන් පිරිනමන කුමාරන් අශාන් සම්මානයෙන්ද පිලිපීනයේ “රාමෝන් මැග්සෙසේ” ජාත්‍යන්තර සම්මානයෙන්ද සම්මානිතය. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය එදා මෙන්ම අද ද අද මෙන්ම හෙටද ලොව පුරා රාව ප්‍රතිරාව දෙනු ඇත. මනමේ, සිංහබාහු නාට්‍ය ඉංග්‍රීසි, දෙමළ මෙන්ම භාෂාවන් ගණනාවකටම පරිවර්තනය කොට තිබීම සුවිශේෂීත්වයකි.

එතුමා විසින් රචිත මනමේ, සිංහබාහු, කදාවළලු, පේමතෝ ජායතී සෝකෝ, වෙල්ලවැහුම්, එලොව ගිහින් මෙලොව ආවා නාට්‍ය කෘතීන්ද මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා ආදී කෘතීන්ද පාසල්, පිරිවෙන් විෂය නිර්දේශයන්ට මෙන්ම විශ්වවිද්‍යාල උපාධි සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථ වේ.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, ජයන්ත අරවින්ද, වසන්ත කුමාර, මිරැන්ඩා හේමලතා, සුගතපාල ද සිල්වා ආදීන් සමඟ නාට්‍ය වංශ කථාව ජාත්‍යන්තර වශයෙන්ද ව්‍යාප්ත කිරීමට සරච්චන්ද්‍රයන් සමත් වූහ. දෙඅසූ වසක් ආයු විඳී මහැදුරු සරච්චන්ද්‍රයෝ 1996 වැන්නේ නිකිණි මස 16 වන දින නටුවෙන් ගිලිහී ගිය මලක් සේ අටවක අඳුරෙහි ගිලී ගියහ.

අස්ගිරි පාර්ශ්වයේ පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝනායක
කල්පිටිය අන්තර් සමුද්ද පරිවේණාධිපති
ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ
සුමිත්ත නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment