හෙණ සහ හෙණවලට හේතු

1221

වසර දහස් ගණනකට එහා ඉන්දියාවේ ජීවත්වූ විෂ්ණු ෂර්මන් නමැති පඬිවරයා ලියූ පංච තන්ත්‍රය නමැති පොතේ එන කතන්දරයකට අනුව ආහාර වශයෙන් යකඩ අනුභව කරන මීයන් පුරාණ ඉන්දියාවෙහි වාසය කර ඇත. දිනක් සිටුවරයෙක් දුර ගමනක් යෑමට පෙර තමන් සතුව තිබූ යකඩ තොගයක් මිතුරකු භාරයෙහි තැබීය. දිගු ගමන ගොස් ආපසු පැමිණි සිටුතුමා යකඩ තොගය ලබාගැනීම පිණිස මිතුරා වෙත ගිය කල්හි දැන ගැනීමට ලැබුණේ පරෙස්සමට තැබූ යකඩ තොගය මීයන් විසින් අනුභව කර ඇති බවය. යකඩ තොගය ගෙදර සොල්දරයේ තැන්පත් කළ බවත් මීයන් විසින් ඒවා කා දමන්නට ඇත්තේ එවිට බවත් මිතුරා කීවේය. මේ කතාවෙහි න්‍යායන් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් මිතුරා විසින් සිටුතුමාට පට්ට බොරුවක් කර යකඩ තොගය බෝතල්කාරයකුට විකුණා ඇති බවය. දෙවැනි න්‍යාය වන්නේ යකඩ රසවත් ආහාරයක් විය හැකි බවය. මේ දෙවැනි න්‍යාය ලංකාවේදී සැබෑවක් බවට පත්වූ අවස්ථා රාශියක් තිබේ. දැන් ඔබ කියවන්නේ ඒ පිළිබඳ අලුත්ම කතාවය. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ යන්ත්‍ර සූත්‍ර කපා ඉවත් කර ගැනීමේ ජාවාරමක් නිසා රජයට රුපියල් බිලියන දෙකකට අධික අලාභයක් සිදුවනු ඇතැයි එම කම්හලේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක පවසා ඇත. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල දැනට පවතින්නේ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකගේ අමාත්‍ය බල සීමාව යටතේය. ගාමිණී ඒකනායක සභාපති ධුරයෙන් ඉවත්වූ පසු එම කම්හලේ මුරට සිටි ශ්‍රී ලංකා යුධ හමුදාව රාජ්‍ය ඇමැති දසනායකගේ දැනුම්දීම මත ඉවත් කර ඇත. ඊළඟට යන්ත්‍ර ටික කැපීමට පටන්ගෙන තිබේ. තමා සභාපතිව සිටි කාලයේ අවසන් කාලයේදී සිමෙන්ති කම්හල නැවත ඇරඹීමට කටයුතු කරමින් සිටි බව ගාමිණී ඒකනායක කියා තිබේ. සිමෙන්ති කම්හල නැවත ඇරඹිය හැකි තත්ත්වයක කම්හලේ යන්ත්‍ර තිබුණේ නම් ඒවා ඉතා වටිනා යන්ත්‍ර විය යුතුය. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල 1950 දී එවකට පැවති කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ අරඹන ලදී. මෙහි මුල් නම කන්කේසන් සිමෙන්ති කම්හලය. එකල රටටම ඇති වෙන්නට සිමෙන්ති මේ කම්හල මගින් තනන ලදී. 1991 දී කොටි සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා එම කම්හල වසා දමන ලදී. යුද්ධය නිමවූ පසු 2016 දී මේ කම්හල නැවත පටන් ගැනීමට රජය කල්පනා කළේය. ඒ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විශාල සිමෙන්ති කොම්පැනියකුත් දකුණු කොරියාවේ ඇෆ්කෝ සිමෙන්ති කොම්පැනියත් එකතු වූහ. එහෙත් එම උත්සාහය හරි ගියේ නැත. එයට හේතුව සිමෙන්ති කම්හලේ යන්ත්‍ර පැරණි බවට මතයක් පතුරුවා තිබීමය. මේ මතය පතුරුවන ලද්දේ කම්හලේ තිබූ ටොන් මිලියන ගණනක් බර යකඩ යන්ත්‍ර කපා විකිණීමේ අරමුණක් දේශපාලනඥයන් සහ මුදලාලිලා කිහිපදෙනකු තුළ තිබූ බැවිනි. සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ පටන් ගන්නා ලද නැගෙනහිර කර්මාන්ත සංයුක්ත මණ්ඩලයේ යකඩ යන්ත්‍ර වලටද මේ යකඩ ව්‍යාපාරිකයෝ ඇස ගසාගෙන සිටියහ. එහෙත් එම යන්ත්‍ර තොගයද තවමත් කපා ඉවත් කරගැනීමට බැරිව තිබේ.

රත්තරන් සහ යකඩ අතර අගයෙහි විශාල වෙනසක් ඇත. එහෙත් මෑතක සිට ලංකාවේ යකඩ ඉල්ලුම රත්තරන් ඉල්ලුමේ තත්ත්වයෙහි පවතී. පරණ යකඩ මිලදී ගැනීම සඳහා සංවිධානය වූ වෙනම වෙළඳ කාර්ටලයක් ලංකාවේ තිබේ. මේ අය කරන්නේ උදේ පාන්දරින්ම නැගිට සුඛෝපභෝගී වාහනවල නැගී රට පුරා තිබෙන පරණ යකඩ ගොඩවල් සොයා යෑමය. ගොඩබිමෙහි මෙන්ම මුහුදෙහි ද පරණ යකඩ ඇත. ඒ වූ කලී ගිලී ගිය නැව් ය. ලංකාවේ සාගර කලාපය වටා ගිලුණු නැව් සිය ගණනක් තිබේ. මේ නැව් වැඩි හරියක් එකක් ටොන් තිස් හතලිස් දාහකට වඩා බරය. මේ නැව් වලට අයත් ජෙනරේටර කාමරයෙන් මුළු කොළඹටම ලයිට් දීමට පුළුවන. එහෙත් දිගු කලක් මුහුද යට තිබීම නිසා එම ජෙනරේටර වැඩ නොකරන බැවින් මුදලාලිලා කිමිදුම්කරුවන් යොදවා එම ජෙනරේටර් කාමරය කපාගෙන ගොඩට ගෙනවුත් එහි ඇති තඹ කම්බිද, ඇලුමිනියම්ද, යකඩද වෙන්කර ගනිති. පරණ තඹ කිලෝවක් අද රුපියල් දෙදහසක් පමණ වේ. පරණ යකඩ කිලෝවද රුපියල් දෙතුන් සීයක් පමණය. පරණ ඇලුමිනියම් කිලෝවක් රුපියල් දාහකි. මුහුදු පත්ලේ තිබෙන පරණ නැවක් කපාගෙන ගොඩට ගෙනාවිට එයින් රුපියල් කෝටි පහළොවක් විස්සක් උපයා ගැනීමට පුළුවන. එහෙත් නැවක් නිකන්ම නොකැපේ. ඒ සඳහා අවසර ගණනාවක් ගත යුතුය. මුල්ම අවසරය ගත යුත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. එම අවසරය දීමට වෙරළ සංරක්ෂණයට පගා දිය යුතුය. ඊළඟ අවසරය ගත යුත්තේ සමුද්‍ර ජීවීන් පිළිබඳ කටයුතු කරන රජයේ ආයතනයෙනි. ඔවුන්ටද පගාවක් දී අවසරය ලබාගත යුතුය. ඊළඟ අවසරය ලබාගත යුත්තේ නාවික හමුදාවෙනි. අප දන්නා පරිදි නේවි එක පගා ගන්නේ නැත. එහෙත් නේවි එකේ ඉන්න හොඳ මහත්තයකුට බෝතලයක් දීමේ පාපයක් නැත. ඊළඟට අප හමුවීමට එන පගාකාරයා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීය. ඔහු අප කා දැමීමට මාන බලයි. ඔහුටත් ගානක් අත මිට මෙලවූ පසු පළාතේ මන්ත්‍රී අප සමග කතා කරන්නට පටන්ගනී. ඔහු බලන්නේ අප කා දමා හපකිරීමටය. මේ සියලු ජරාව ගෙවලාත් අවසානයේදී යකඩ මුදලාලිට යකඩ කිලෝවකින් රුපියල් 100 කවත් ශුද්ධ ලාභයක් ලැබේ. නැව් කැපීම ඉතා අවදානම් වැඩකි. නැවක් කපා අවසන් වනවිට අනිවාර්යයෙන්ම කම්කරුවෝ දෙතුන් දෙනෙක් මැරෙති. මුදලාලි බජට් එක හදන්නේ මේ මරණවලට ගෙවන වන්දිත් එකතුකරය.

මේ රටේ තිබෙන සියලුම යකඩ ජාවාරම්කාරයන්ගෙන් පරෙස්සම් කරගත යුතුය. කන්තලේ සීනි කම්හලද යකඩ නිසා අවදානමකට ලක්ව ඇත. මේ කම්හල පටන් ගැනීමට ආයෝජකයන් කොපමණ පැමිණියද ඇතැම් දේශපාලනඥයෝ ඊට ඉඩ නොදෙති. මේ කම්හලේ තිබෙන පරණ යකඩවල බර ටොන් ලක්ෂයක් පමණ වේ. කට්ටිය කියන්නේම කම්හල කපා පරණ යකඩවලට විකිණිය යුතු බවය. මෙවැනි පටු සිතුවිලි නිසා මේ රටට එදත් හෙණ ගැසුවේය. අදත් හෙණ ගසන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment