ශ‍්‍රී ලංකා සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කලහකාරී ජනරජය

1558

ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණයේ සභාපති තනතුරට විශ‍්‍රාමික මේජර් ජනරාල් එච්. ආර්. ඩබ්ලිව්. සොයිසා පත්කර තිබේ. මීට පෙර ඔහු වැඩ කළේ ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති ලෙසය. දැන් ඒ තනතුර ඪ්ජ්බඑ වී ඇති නිසා එතැනට සුදුසු විශ‍්‍රාමික මේජර් ජෙනරාල්වරයකු හැකි වහාම පත්කිරීම ආණ්ඩුවේ වගකීමය. එසේම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු පත්කර තිබේ. මෙය ඉතා හොඳ වැඩකි. විශ‍්‍රාමික මේජර් ජෙනරාල්ලාට ඈනුම් අරිමින් ගෙවල්වලට කොටුවී සිටීමට ඉඩ නොදිය යුතුය. එක අතකට රාජ්‍ය පරිපාලන සේවයේ නොසිටි සිවිල් පරිපාලනය ගැන කිසිත් නොදත් හමුදා නිලධාරීන් ගලග‍්‍රහණයෙන් ගෙනවුත් අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට පත් කිරීම හොඳය. ඒ මිනිස්සු රාජ්‍ය අංශයේ දූෂණ ගැන දන්නේ නැත. ඒ නිසා දූෂණ කරන හැටි ද දන්නේ නැත. රාජ්‍ය අංශයේ කොමිස් ගැසීම්, පගා ගැසීම් සහ ලිංගික අල්ලස් පිළිබඳ දැන ගැනීම සඳහා කිසියම් කාලයක් ගත වන්නේය. විශ‍්‍රාමික හමුදා නිලධාරීන් එකී දූෂිත සමාජයට පුරුදු වන විට ආණ්ඩුවේ නිල කාලය ද ඉවර වන බැවින් එවැනි විෂමාචාර පාවිච්චි කිරීමට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ නැත. මේ සියලූ කරුණු සලකා බලා සියලූම අමාත්‍යාංශවල ලේකම් තනතුරුවලට විශ‍්‍රාමික හමුදා ජනරාල් ලා පත් කළ යුතු බව අපි යෝජනා කරමු. තනතුරු දීමෙන් පසුත් මේජර් ජනරාල් ලා තව ඉතිරි වුවහොත් රටේ තිබෙන මරණාධාර සමිති, කුලඟන සමිති, තරුණ සමිති සහ ක‍්‍රීඩා සමාජ යනාදියේ ලේකම්වරුන් ලෙස ඔවුන් පත් කළ හැකිය. අප මෙය කියන්නේ විහිළුවට හෝ අපහාසයට නොව ඇත්තටම ය. රජයේ පරිපාලන සේවය සමත් වූ පරිපාලන නිලධාරියා පෑනක් ගෙන අත්සන් සියයක් ගසා විසඳන ප‍්‍රශ්නය පිස්තෝලය ගෙන වෙඩි තැබීමෙන් නොව එය පෙන්වීමෙන් පමණක් විසඳීමට විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ට පුළුවන. මේ ගැන ද වරදවා නොසිතුව මැනවි.

 …………………………

 විදුලිය කප්පාදු නොකරන බවට රජය මගින් ප‍්‍රකාශයක් දී තිබියදීත් තවදුරටත් විදුලිය කප්පාදු කෙරෙන්නේ නම් එය කඩාකප්පල්කාරී කටයුත්තක් බවට ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සැක පහළ කර තිබේ. ඔහු මේ බව කියන්නේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මාර්තු 5 දායින් පසු ලයිට් නොකපන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මාර්තු මුල සතියේදී කීවේය. එහෙත් එම ප‍්‍රකාශය ලංකාවේ විදුලි බල ඇමැතිගේ ප‍්‍රකාශයක් නොව ඉන්දියාවේ විදුලි බල ඇමැතිගේ ප‍්‍රකාශයක් ලෙස සලකමින් මාර්තු 6 දා පැය හතහමාරක් ලයිට් කපන ලදී. ඊට අමතරව ඛනිජ තෙල් ප‍්‍රශ්නය විසඳී ඇති බවත් විදුලිය තවදුරටත් නොකපන බවටත් බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ කියන හැම විටකම ලයිට් ගොස් ඞීසල් පෝලිම් දික් විය. මෙය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් ලෙස අපට ද සිතිය හැකිය. සමහරවිට හිටපු බලශක්ති ඇමැති වන, දැනට ආණ්ඩුවෙන් පලවා හැර සිටින උදය ගම්මන්පිල ප‍්‍රධාන බලාගාරවල ට‍්‍රාන්ස්ෆෝමර් තුළ විටින් විට සැඟවෙමින් ඒවායේ වයර් මාරු කරනවා වන්නට පුළුවන. කෙසේ වුවද විදුලි බල ප‍්‍රශ්නය, ඛනිජ තෙල් ප‍්‍රශ්නය, ගෑස් ප‍්‍රශ්නය යන තුනම අදටත් එලෙසම පවතී. ශ‍්‍රී ලංකාව තුළ දැනට විසඳී ඇත්තේ ඇඹුල් කෙසෙල් ප‍්‍රශ්නය සහ වට්ටක්කා ප‍්‍රශ්නය පමණි. මේ වර්ග දෙකම ඉතිරි වී කුණු වන තරමට නිපද වේ. එමතු ද නොව ඇඹුල් කෙසෙල් හෝල් සේල් මිල කිලෝව රුපියල් 20 කි. මේ මිලට ගැනීමට නම් සම්පූර්ණ කෙසෙල් කැන එය මැද පිහිටි දඩ වහල්ල ද සමග මිලට ගත යුතුය. වට්ටක්කා කිලෝව ද රුපියල් 30 බැගින් හෝල් සේල් මිලට ලබාගත හැකි නමුදු එම මිලට එම භාණ්ඩය විකුණන්නේ කිලෝ සීයකට වඩා මිලට ගන්නේ නම් පමණි. මේ හැරෙන්නට වෙනත් කිසිදු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් පිළිබඳ ප‍්‍රශ්න විසඳී නැත. කිරි පිටි හිඟය, කිරි මෙන්ම පැහැදිලිවටත් සුදටත් පෙනෙන්නට පවතී. මිල පාලනයෙන් තොර සීනි රුපියල් 139 සිට 200 දක්වා වූ විවිධ මිල ගණන්වලට අලෙවි වේ. කිසිම සහලක් රුපියල් 140 ට අඩු නැත. ආණ්ඩුවෙන් ගෙන්වන ලද ඉන්දියන් පොන්නි සම්බා කිලෝව සතොසෙන් රුපියල් 139 ට මිලට ගත හැකි කාලයක් තිබුණ ද අද එම මිල ඉතිහාසයට එක්ව තිබේ. මේ වනවිට රුපියල් 145 ත් 149 ත් අතර මිල ගණන්වලට පොන්නි සම්බා විකුණනු ලැබේ. රතු කැකුළු කිලෝවක් රුපියල් 150 ක් ද සුදු කැකුළු කිලෝවක් රුපියල් 145 ද ඉක්මවා අලෙවි වේ. පෙට‍්‍රල් ෂෙඞ්කාරයන්ට පගා දී තෙල් ගැහීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැත. එහෙත් අද ඇතැම් පෙට‍්‍රල් ෂෙඞ්වල තෙල් ගහන ළමයා බස් එකකට ෆුල් ටෑන්ක් තෙල් ගහන්නේ රුපියල් 1000 ක් පගාව දුන්නොත් පමණි. නොඑසේ නම් බස් රථයකට ලැබෙන්නේ රුපියල් 3000 නොඉක්මවන තෙල් ප‍්‍රමාණයකි. ශ‍්‍රී ලංකාව ප‍්‍රශ්නගත රාජ්‍යයක් බවට පත්වීම කිසිසේත්ම ඉවසිය හැකි තත්ත්වයක් නොවේ. ලංකා ඉතිහාසයේ වැඩිම දේශපාලන අර්බුද සමූහයක් තිබූ කාලය ජනාධිපති මෛත‍්‍රීපාල රට පාලනය කළ යුගයයි. මෛත‍්‍රී ජනාධිපතිතුමාගේ කාලයේදී අගමැති සහ ජනාධිපති අතර ලොකු ආරවුලක් තිබිණ. මෙහිදී රනිල් වික‍්‍රමසිංහ කට ඇරියේ කලාතුරකින් වුවද මෛත‍්‍රී නිතර දෙවේලේ කට හරිමින් හතර වටේටම බැන්නේය. මේ ආණ්ඩුව මෛත‍්‍රීගේ අර්බුද කේන්ද්‍රීය ආණ්ඩුව ද ඉක්මවා යෑම ඇරඹී ඇත. සුසිල් පේ‍්‍රමජයන්ත රාජ්‍ය ඇමැති ධුරයෙන් පලවා හැරීමත් සමගම එම යුගය ඇරඹිණ. අද වනවිට ඇමැතිලා සහ රාජ්‍ය ඇමැතිලා මහ පාරට බැස ඇඳිවත් ඔසවාගෙන ගුටි කෙළ ගන්නා තත්ත්වයක් මතුව තිබේ. රාජ්‍ය ඇමැතිවරුන් වන නිමල් ලන්සා සහ සනත් නිශාන්ත ජෝඩුව එකිනෙකාට බැණ ගනිමින් දීර්ඝකාලීන සංග‍්‍රාමයකට මුල පුරා ඇත. දෙකෙන් එකක් වනතුරු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කටවල් පියා ගන්නේ ද නැත. මේ නිසා ශ‍්‍රී ලංකාවේ නම සංශෝධනය කළ යුතු කාලය පැමිණ තිබේ. ඒ නම සංශෝධනය විය යුත්තේ ශ‍්‍රී ලංකා සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කලහකාරී ජනරජය යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment