කෝටි 15ක කහ තොගයක් වසර දෙකකට වැඩි කාලයක සිට රේගුවේ

63

කෝටි 74ක ආහාර ඇතුළත් බහාලුම් 88 කුත් හිරවෙලා

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කහ තොග නිදහස් කරගැනීම සඳහා අදාළ වන විරෝධතා නොමැත ලිපි නිකුත් නොකිරීමට තීරණය කළ බව දැනුම් දී තිබියදී ආනයනය කොට තිබුණු රුපියල් පහළොස් කෝටි, දහනම ලක්ෂ හැත්තැනමදහස් පන්සිය අසූඅටක් වටිනා කහ කිලෝ ග්‍රෑම් 624,877ක් රේගුව විසින් වසර 02 කට අධික කාලයක සිට නීතිමය කටයුතු සිදු නොකර රඳවා ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම රේගු විමර්ශන හේතුවෙන් රුපියල් හැත්තෑ හතර කෝටි පනස්තුන් ලක්ෂ අසුතුන්දහස් දෙසිය පනහක් වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 88ක් ඉකුත් වර්ෂයේ අගෝස්තු මස 01 දින වන විට දින 60 සිට දින 778 දක්වා කාලයක් රෑන්කින් කන්ටේනර් ටර්මනිල් අංගනයේ රදවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ශ්‍රී ලංකාවට කහ ආනයනය කිරීමේදී සංයෝජිත වාර්ගීකරණ සංකේත වලට අදාලව කුඩු නොකළ හා නොඇඹුරූ කහ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවට 2019 දෙසැම්බර් 06 වැනි දින අංක 2152/63 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර තිබුණි. ඒ සමගම අපනයන කෘෂිකර්ම දෙපාර්මේන්තුවෙන් විරෝධතා නොමැත යනුවෙන් ලිපියක්ද ලබාගත යුතු බව විගණන වාර්තාවේ සදහන් වේ. එහෙත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආනයන අපනයන පාලක ජනරාල්වරයා වෙත 2020 මැයි 10 දිනෙන් පසුව කහ තොග නිදහස් කරගැනීමට අදාල වන විරෝධතා නොමැති ලිපි නිකුත් නොකිරීමට තීරණය කොට ඇති බව දැනුම් දී තිබුණි.

එම තීරණය ගැනීමෙන් පසුව 2020 මැයි මස 10 වැනි දින මෙකී කහ තොගය මෙරටට ආනයනය කොට තිබුණි. බහාලුම් නිදහස් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු බව විගණනය මගින් නිර්දේශකෙට ඇත. මේ සම්බන්දයෙන් රේගුවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මධ්‍යම විමර්ශනයට අදාලව දැනට රාජසන්තක කරණු ලැබු රුපියල් දහඅටකෝටි පනස්එක්ලක්ෂ තිස්හත්දහස් හැටහතරක් වටිනා කහ කිලෝග්‍රෑම් 752,739ක් අඩංගු බහාලුම් 42ක් රෑන්කින් කන්ටේනර් ටර්මනිල් අංගනයේ පවතින බවය. ඉන් බහාලුම් 15ක් අපහරණය සඳහා මධ්‍යම අපහරණ අංශයට යොමුකොට ඇති බවය. ආහාර ද්‍රව්‍ය ඇති ප්‍රශ්නගත බහාලුම් සම්බන්දයෙන් වන රේගු පරීක්ෂණ පවත්වා කඩිනමින් අවසන්කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවද ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment