46 වසරටත් ගුණ සැමරෙන දිවංගත ඇස්. ද ඇස්. ජයසිංහ ශ්‍රීමතාණෝ

92

දෙහිවල ගල්කිස්ස දේශපාලනයේ කිසිදා නොමැකෙන නාමය වන ඇස්. ද ඇස්. ජයසිංහ මැතිතුමාගේ 46 වන ගුණානුස්මරණය 2023 සැප්තැම්බර් මස 26 වන දිනට යෙදී ඇත. වත්මන් තරුණ පරපුර වශයෙන් අප ජයසිංහ මැතිතුමා දෑසින් දැක ළඟින් ඇසුරු කර නොතිබුණත් අපේ වැඩිහිටියන් මගින් අප දැනගන්නා තොරතුරු අනුව එතුමා පිළිබඳ ඇති වන්නේ ඉමහත් ගෞරවයකි, භක්තියකි.

1944 වර්ෂයේ එවකට පළාත් පාලන ආයතනය වූ දෙහිවල ගල්කිස්ස පළාත් ආණ්ඩු සභාවේ නියෝජිතයකු ලෙස දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා කෙටි කලෙකින් ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය දේශපාලකයකු බවට පත්ව 1952 වසරේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පරාජයට පත් කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. නැවත 1960 මාර්තු මැතිවරණය සහ 1965 මැතිවරණ ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එතුමා අවසන් වරට එක්සත් ජාතික පක්ෂය අති විශිෂ්ට ජයක් අත්පත් කරගත් 1977 මැතිවරණයේදී දෙහිවල ආසනය වැඩි ඡන්ද 12,368 කින් ජයග්‍රහණය කරවන්නට සමත් විය. ඒ අතරතුර කාලයේ කිහිප විටක්ම දෙහිවල ගල්කිස්ස පළාත් පාලන ආයතනය වූ පළාත් ආණ්ඩු සභාව නියෝජනය කළ අතර එහි සභාපති ධුරයද හෙබවිය. දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සංස්ථාපනය වූ පසු එහි නගරාධිපතිවරයා ලෙසද තේරී පත් විය.

1977 සැප්තැම්බර් 26 වැනිදා දිවංගත වන විට එතුමා ජේ. ආර්. ජයවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ රජයේ ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය හෙබවිය. එයට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අවස්ථාවන්හි දී ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති, කම්කරු නියෝජ්‍ය ඇමැති, රැකී රක්‍ෂා හා නිවාස ඇමැති ධුරයන්හි කටයුතු කරමින් දෙහිවල ගල්කිස්සටත් මුළු රටටමත් විශාල සේවාවක් ඉටු කළේය.

එතුමා දේශපාලන නායකයකු ලෙස ප්‍රදේශයට කළ සේවාවන් අතර දකුණු කොළඹ මහා රෝහල කළුබෝවිල ග්‍රාමයේ පිහිටුවීම ප්‍රමුඛස්ථානය ගනී. ඊට අමතරව ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රම ඇති කිරීම, දෙහිවල ප්‍රධාන ජල කුලුන ඇති කර දෙහිවල ගල්කිස්ස ජනතාවට නළ ජල පහසුකම් ලබා දීම, අද වන විට දෙහිවල වෛද්‍ය පාරේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනය නමින් රට පුරා තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතනය බහු තාක්ෂණික ආයතනය නමින් එකල ආරම්භ කිරීම ප්‍රමුඛ කාර්යයන් සේ දැක්විය හැකිය. ජයසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් එතුමාගේ ජ්‍යෙෂ්ඨ දියණිය සුනේත්‍රා රණසිංහ මැතිනිය දෙහිවල ගල්කිස්ස ජනතාවට පමණක් නොව මුළු රටටම මෙතෙක් ඉටුකළ සේවයද මෙහිදී සඳහන් නොකළහොත් එය අඩුපාඩුවකි. ජයසිංහ මැතිතුමාගේ ගුණාංග වූ අවංක, නිර්භීත, නිහතමානි, කාර්යක්ෂම සහ අල්ලස දූෂණය වංචාවෙන් තොර වීම සුනේත්‍රා රණසිංහ මැතිනියත් සිය පිය ආභාෂයෙන් පිළිපැද අපට ලබා දෙන ආදර්ශයන් වේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයත් නියෝජනය කළ එතුමිය අදටත් ජනතා සේවයට කැපවී සිටීම අගය කළ යුතුය.

නීතිඥ යමිත නලින්ද රාජපක්ෂ
දෙහිවල ගල්කිස්ස හිටපු
මහ නගර සභා මන්ත්‍රී
ලේකම් – ඇස්. ද ඇස්.ජයසිංහ පදනම

advertistmentadvertistment
advertistmentadvertistment