කුජීත පරාජය: ක්‍රිකට් වළට ඇද්ද සෙට් එක පන්නන්න – ජ්‍යෙෂ්ඨයෝ කියති

1113

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්‍ෂාවත් තර කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රපාතයට ඇද දැමූ වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය හා ඊට වගකිවයුතු සියලු දෙනා පන්නා දැමිය යුතු බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ‘දිවයින’ට ඊයේ (3 දා) කියා සිටියහ.

ඒ වගේම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකරන ක්‍රීඩකයන් මේ අවමන් සහගත පරාජයන් හමුවේ ලැජ්ජා විය යුතු බවද එම ක්‍රීඩකයෝ පැවසූහ. මේ විදිහට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළානම් අද ඒ ක්‍රීඩකයන්ටත් ගහලා ගෙවලුත් ගිනි තියලා ඒත් අපේ රටේ මිනිස්සු ඒ තත්ත්වයට පත්වෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපාරයක් කරගෙන ඒක ගිලගෙන ඉන්න දූෂිතයෝ පන්නලා දානකල් අපේ රටේ ක්‍රිකට් හදන්න බැහැ යැයි එම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නින්දිත ක්‍රිකට් පරාජය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නකු කියා සිටියේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව තාක්‍ෂණය සහ සැලසුම් නොමැති වීම මෙම පරාජයට හේතුවූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගොඩනඟාගෙන තිබූ දැවැන්ත ප්‍රතිරූපය මේ වනවිට සුණු විසුණු කර දමා ඇති බව පැවසූ හිටපු සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයකු රුපියල් ලක්‍ෂ ගණනින් වැටුප් ලබා ගන්නා ක්‍රිකට් පාලක මණ්ඩලය පුහුණුකරුවන් ක්‍රිකට් බලධාරීන් සහ ඊට වගකිවයුත්තන් භාරගත යුතු බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මෙසේද කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පත්වෙලා ඉන්න තත්ත්වය ගැන හිතා ගන්නවත් බැහැ. ඒ අය පාසල් ක්‍රිකට් කණ්ඩායමකටත් වඩා පහළට වැටිලා. ඇත්තටම මම වගේම ක්‍රිකට්වලට ආදරය කරන මේ රටේ අහිංසක ක්‍රිකට් ලෝලීන් ලොකු දුකකින් ඉන්නේ.

කුජීත පරාජය: ක්‍රිකට් වළට ඇද්ද සෙට් එක පන්නන්න - ජ්‍යෙෂ්ඨයෝ කියති
කුජීත පරාජය: ක්‍රිකට් වළට ඇද්ද සෙට් එක පන්නන්න - ජ්‍යෙෂ්ඨයෝ කියති

හිටපු සුපිරි වේග පන්දු යවන්නකු අදහස් දක්වමින් කියා සිටියේ අති දක්‍ෂ ක්‍රිකට් පුහුණුකරුවන් අප රටේ සිටින බවත් ඔවුන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට නොගෙන විදෙස් පුහුණුකරුවන් ගෙන්වාගෙන අති විශාල මුදලක් වැටුප් වශයෙන් ගෙවමින් මෙරට ක්‍රිකට් විනාශ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය බවත්ය.

ක්‍රිකට් පසුබෑමට වගකිවයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අද දින සාමකාමී විරෝධතා පෙළ පාලියක්ද පැවැත්වීමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බවද ‘දිවයින’ට වාර්තා වෙයි.

සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මෙම විරෝධතාව සඳහා විවිධ පුද්ගලයන් සංවිධානය කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාවද ඊයේ තර කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment