අපරාධකරුවන් හඹා ගිය පොලිස් නිල සුනඛ සේවය

213

පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අදට (4) වසර 75ක් පිරෙයි.

ඒ නිමිතිකොටගෙන සැමරුම් උත්සවයක් මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ දැක්ම සහ මෙහෙවර

නිල සුනඛ කොට්ඨාසයේ දැක්ම – Vision

සාමකාමී පරිසරයක් ගොඩනැංවීමට අසමසම සේවයක්.

නිල සුනඛ කොට්ඨාසයේ මෙහෙවර – Mission

මෙතෙක් ලොව නිෂ්පාදිත කිසිම තාක්ෂණික මෙවලමකින් කළ නොහැකි, උපකරණ මඟින් හෝ මිනිස් දැනුමෙන් සිදු කරන සේවාවන්ට සම කළ නොහැකි, පුපුරන ද්‍රව්‍ය, මත් ද්‍රව්‍ය සහ නීති විරෝධීන්ට එරෙහිව සිටින ලොව එකම ජීවි අභියෝගය ලෙසින්, පොලිස් නිල සුනඛ හසුරුවන්නා නිල සුනඛයා නම් වූ ඒකකය තුළින් ජන සමාජයට විශේෂඥ සහයක් අපි ලබා දෙන්නෙමු.

කොට්ඨාසයේ ඉතිහාසය හා විකාශය

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් රාජකාරි සඳහා නිල සුනඛයන්ගේ සහාය ලබා ගැනීමට නිල සුනඛ අංශයක් ආරම්භ කිරීමට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරික්ෂක ඕ. එන්. ඕ. ෂොක්මන් මහතා විසින් 1948 නොවැම්බර් 04 වැනිදා අදහසක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 1948 දෙසැම්බර් මස 01 වන දින කොළඹ ඇචිලන් චතුරශ්‍රයේදී ආරම්භ කරන ලදී. එම නිල සුනඛ අංශයේ ප්‍රථම ස්ථානාධිපති වූයේ පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතාය.

නිල සුනඛ අංශයේ ප්‍රථම නිල සුනඛයන් දෙදෙනා

නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා කඩිනමින් සුනඛයින් ගේ අවශ්‍යතාව පැන නැගිනි. ඒ අනුව එංගලන්තයේ සිට පැමිණ කොළඹ ප්‍රදේශයේ සිටි විදේශකයන් දෙදෙනකු සතුව සිටි සුනඛ පැටවුන් දෙදෙනකු මිලදී ගන්නා ලදී. ඒ අනුව මුල්ම සුනඛයන් දෙදෙනා වශයෙන් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ පිරිමි සතෙකු වූ රෙක්ස් නමැති සුනඛයා රු. 175/ කටද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ ගැහැනු සතෙකු වූ ෂීබා නමැති සුනඛ ධේනුව රු. 200/- කටද මිලදීගෙන ඇත.

මුල්ම සුනඛ හසුරුවන්නන් බඳවා ගැනීම

නිල සුනඛ හසුරුවන්නන් වශයෙන් පොලිස් නිලධාරීන් කීප දෙනකු තෝරා ගැනීමට පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතාට අවශ්‍ය විය. එවකට පොලිස් නිලධාරීන්ගේ මූලික පුහුණුවීම සිදු වූයේ කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේදීය. මූලික පුහුණුවෙන් පසු ආධුනික නිලධාරීන් බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්ත කිරීම සිදු කෙරේ. ඒ අනුව 1948 ජූනි මාසයේ පුහුණුව නිම කල පොලිස් කොස්තාපල් කණ්ඩායමක් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව සිටින ලදී. පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතා ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ගොස් මෙම නිලධාරීන් හමුවී නිල සුනඛ හසුරුවන්නන් වශයෙන් පුහුණුවීමට කැමති අය සිටීනම් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කරන ලදී. මෙම ඉල්ලීම අනුව

1 පොලිස් කොස්තාපල් බර්ට්‍රස්

2 පොලිස් කොස්තාපල් ආම්ස්ටෝන්

3 පොලිස් කොස්තාපල් දේවනායගම්

යන පොලිස් කොස්තාපල් වරුන් තිදෙනා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.

මීළඟ ප්‍රධාන කාර්යය වූයේ සුනඛයන් පුහුණු කිරීමට සුදුසු කාලගුණික තත්වයක්ද ඔවුන් රඳවා තැබීමට සුදුසු ඉඩ කඩක් සහ පිරිසිදු වාතාශ්‍ර සහිත ප්‍රදේශයක් සොයා ගැනීමයි.

ප්‍රථම නිල සුනඛ කුඩු ඉදි කිරීම් හා නිල සුනඛයන්ගේ රාජකාරි විෂය

පොලිස් නිල සුනඛ අංශය වෙත ප්‍රථමයෙන්ම ලබා ගන්නා නිල සුනඛ පැටවුන් දෙදෙනා රැක බලා ගැනීමට හා නඩත්තු කිරීමට අලුතින් තෝරා ගන්නා ලද සුනඛ හසුරුවන්නන් තිදෙනා වෙත බාරදෙන ලදී. එම සුනඛයන් දෙදෙනා සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතා විසින් එම පොලිස් ස්ථානයේම ඔහුගේ වියදමින් කූඩු 02 ක් සකස් කරන ලදී. මෙම සුනඛ පැටවුන් දෙදෙනා හොඳින් වැඩීමෙන් පසු අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කොස්තාපල් බර්ට්‍රස් සහ පොලිස් කොස්තාපල් ආම්ස්ටෝන් විසින් පුහුණු කිරීමෙන් පසු රාජකාරි යොදවන ලදී. පොලිස් කොස්තාපල් දේවනායගම් නිල සුනඛ කටයුතු වලින් ඉවත් විය.

පොලිස් නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීම

කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ පිහිටා තිබූ නිල සුනඛ අංශය 1949 ජනවාරි මාසයේදී මහනුවර අස්ගිරියේ වර්තමාන පොලිස් නිල සුනඛ මූලස්ථානය පිහිටා ඇති භූමියේ ස්ථාපිත කෙරිණි. නිල සුනඛ හසුරුවන්නන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව නිල සුනඛ ඒකකයේ රාජකාරි සිදු කරන ලදී. නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමට පහත කරුණු සාධක විය.

1 ලංකාවේ එකම පශු වෛද්‍ය පීඨය වූ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය මහනුවරට ආසන්නව පිහිටා තිබීම

2 මහනුවර දේශගුණික තත්ත්වය ඉතා සෞම්‍ය හා මධ්‍යස්ථ දේශගුණයකට හිමිකම් ඇති බැවින් සුනඛයින්ට එම දේශගුණික තත්ත්වය සුදුසු තත්ත්වයක් බව කාගේත් අදහස වීම.

3 මහනුවර අස්ගිරිය පිහිටි වර්තමාන පොලිස් නිල සුනඛ මූලස්ථානය කලින් බි්‍රතාන්‍ය හමුදා කඳවුරක් වශයෙන් පවත්වාගෙන ගොස් 1930 වර්ෂයේදී ටි්‍රනටි විද්‍යාලයේ ගොවිපළක් වශයෙන් පවත්වාගෙන යෑමට බාර දී තිබේ. ඉන් අනතුරුව මෙම පරිශ්‍රය පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබීම හා එය සුනඛයන්ට ස්ථානගතවීමට සුදුසු පරිසරයක් වීම.

නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමෙන් පසු සුනඛ හසුරුවන්නන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්ත කරන ලදී. නිල සුනඛයන් සඳහා වර්තමාන නිල සුනඛ කොට්ඨාසයට පිවිසෙන මාර්ගයේ ලී වලින් සෑදූ කුඩු 05 ක් ඉදි කොට ඇත.

මහනුවර ප්‍රථම නිල සුනඛ කුඩු ඉදි කිරීම

නිල සුනඛ අංශය මහනුවර අස්ගිරිය ස්ථාපිත කිරීමෙන් පසු ස්ථිර පළමු නිල සුනඛ කුඩුව වශයෙන් නිල සුනඛයන් 14 ක් රඳවා තැබීමට වර්තමානයේ නෙලුම් කූඩු වශයෙන් හඳුන්වනු ලබන නිල සුනඛ කූඩු පද්ධතිය ඉදි වී ඇත. 1959 වර්ෂය වන විට මෙම ඒකකයේ සාමාජිකයන් 08 ක් වූ අතර, ස්ථානාධිපති වරයෙකුගේ අවශ්‍යතාවක් පැන නැගී ඇත. ඒ අනුව උප පොලිස් පරීක්ෂක වනිගනායක මහතා නිල සුනඛ ඒකකයට අනුයුක්ත කර එහි ස්ථානාධිපති වශයෙන් පත්කර ඇත. නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ රාජකාරි සම්බන්ධව වැඩි ඉල්ලුමක් පොලිස් ස්ථාන මගින් සිදුව ඇත.

ප්‍රථම අපරාධ පරීක්ෂණ නිල සුනඛයාගේ රාජකාරි ඇගයීම

අපරාධකරුවන් හඹා ගිය පොලිස් නිල සුනඛ සේවය

අපරාධ පරීක්‍ෂණ නිල සුනඛ රෙක්ස් ඉතා හොඳින් අපරාධ පරීක්‍ෂණ විසඳීමට දායක වී ඇත. දින 15 ක් ඇතුළත මිනී මැරුම් 03 ක් ඇතුළුව බරපතළ අපරාධ 7 ක් විසඳීමට දායක වී ඇත. එක් මිනී මැරුමක් කොළඹද, ඊට දින 2 කට පසුව තවත් මිනී මැරුමක් යාපනයේදීද විසඳීමට දායක වී අපරාධකරුවන් අනාවරණය කර ගැනීමට සමත්ව ඇත. මෙම සුනඛයාගේ අසහාය දායකත්වය වෙනුවෙන් ඔහු 1959 වසරේ සැරයන් තනතුරට උසස් කර ඇත. එය පොලිස් සුනඛයෙකු මේ තාක් ලබා ඇති ප්‍රසාද උසස්වීමයි.

අපරාධ පරීක්‍ෂණ රාජකාරි ව්‍යාප්ත වීම හා නව නිලසුනඛ ඒකක ස්ථාපිත කිරීම

1960 සිට 1970 දක්වා වූ දශකය තුළ නිල සුනඛ අංශ වල විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇත. මධ්‍යම පළාත භාරව සිටි පොලිස් අධිකාරි රුද්‍රා රාජසිංහම් මහතා මේ සඳහා මහත් කැපවීමක් දරා ඇත. 1963 වර්ෂයේදී අලුතින් වාහන 2 ක් ලබා දීම සිදු කර ඇත. අපරාධ පරීක්‍ෂණ රාජකාරි සඳහා නිල සුනඛයන්ගේ සහාය ඉල්ලීම වැඩි වීමත් සමග 1954 වර්ෂයේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී අපරාධ පරීක්‍ෂණ රාජකාරි සඳහා නිල සුනඛ ඒකකයක් පිහිටුවන ලදී. පළමු පිට ස්ථාන ඒකක වශයෙන් ආරම්භ වූ මෙම ඒකකය මගින් ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආධුනික පොලිස් නිලධාරීන්ට නිල සුනඛ රාජකාරි පිළිබඳ දැනුමක් ලබා දීමයි. මෙහි ස්ථානාධිපති වශයෙන් පොලිස් කොස්තාපල් ජෝසප් පෙරේරා මහතා අනුයුක්ත කර ඇති අතර, ඔහු පසුව පොලිස් පරීක්‍ෂක ධුරය දක්වා උසස් වීම් ලබා විශ්‍රාම ගොස් ඇත. දිනෙන් දින අපරාධ පරීක්‍ෂණ රාජකාරි ඉටු කිරීම් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කළ හෙයින් නිට්ටඹුව, මිරිහාන, අම්බලන්ගොඩ, මාතර, බදුල්ල, රත්නපුර, කුලියාපිටිය, නුවරඑළිය, හලාවත, අම්පාර, අනුරාධපුරය, යාපනය සහ මොනරාගල පොලිස් ස්ථාන වලද අපරාධ පරීක්‍ෂණ නිල සුනඛ ඒකක පිහිටුවන ලදී.

නිල සුනඛ අංශය විශේෂ අංශයක් බවට ප්‍රකාශයට පත් කිරීම

පොලිස් නිල සුනඛ අංශය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී රාජකාරි වශයෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නට විණි. මේ නිසා 1960 ජනවාරි 12 වන දින නිල සුනඛ අංශය විශේෂ අංශයක් බවට පත් කරන ලදි.

පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ වර්තමාන කාර්ය භාරය

පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අරමුණු කරා ළංවිමට යොදා ගන්නා ලද ප්‍රධාන මෙවලම් වන්නේ පුහුණු කරන ලද පොලිස් නිල සුනඛයා හා පොලිස් නිල සුනඛ හසුරවන්නායි.

මෙම ප්‍රධාන මෙවලම් දෙකින් පොලිස් නිල සුනඛයා අන් කිසිවකුටත් කළ නොහැකි ලොව කිසිම උපකරණයකට කළ නොහැකි කාර්යක් සිදු කරයි. මෙම කාර්ය පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙවර වන රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන කාර්යයට මහඟු දායකත්වයක් ලබා දෙන අතර එය ප්‍රධාන වශයෙන් පහත අයුරින් වේ.

  1. අපරාධ විමර්ශනයට සහය ලබා දීම
  2. නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය හෝ පුපුරන ද්‍රව්‍ය යොදා පිපිරීම් සිදු කරන මිනිසා විනාශ කිරීමට සූදානම් කර ඇති ප්‍රදේශ සහ ස්ථාන හඳුනා ගැනීම
  3. ලොවටම තර්ජනයක් වී ඇති මත් ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා එම නීති විරෝධී මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහිව සිදු කරන රාජකාරි සහ මත් ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීම
  4. මහජන සාමය කඩවන අයුරින් විශාල ජනකායක් රැස් වී ඇති ස්ථානවල මහජනයා සන්සුන් කිරීමට ප්‍රහාරක සුනඛයන් හා සංචාරක සුනඛයන් යොදවා රාජකාරි සිදු කිරීම.
  5. වැලළුණු /සැඟවි ඇති මළ සිරුරු සොයාගැනීම.
  6. අපරාධ පරීක්ෂණ රාජකාරි:-

1948 දෙසැම්බර් මස 01 වන දින කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ ආරම්භ කළ නිල සුනඛ අංශයට ප්‍රථමයෙන් බඳවා ගත් නිල සුනඛයන් දෙදෙනා හොඳින් වැඩීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ රාජකාරි සඳහා පුහුණු කරවීම සිදු විය. 1949 වර්ෂයේදී නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමෙන් අනතුරුව සුනඛයින් බෝ කිරීම නිල සුනඛයින් හා එම හසුරුවන්නන් පුහුණු කිරීම ආරම්භ විය. එම වකවානුවේ අපරාධ පරීක්‍ෂණ රාජකාරි සඳහා නිල සුනඛයින්ගේ සහය ඉල්ලීම වැඩි වෙමින් පැවති අතර, 1954 වර්ෂයේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී අපරාධ පරීක්‍ෂණ රාජකාරි සඳහා නිල සුනඛ ඒකකයක් ස්ථාපිත කරන ලදී. අපරාධ පරීක්‍ෂණ රාජකාරි එම වකවානුවේ විසඳීම සාර්ථක වර්ධනයක් පෙන්නනුම් කළ හෙයින් පසු කාලයේදී නිට්ටඹුව, මිරිහාන, අම්බලන්ගොඩ, මාතර බදුල්ල, රත්නපුර, කුලියාපිටිය, නුවරඑළිය, හලාවත සහ මොනරාගල යන පොලිස් බල ප්‍රදේශ වල දිවයින ආවරණය වන පරිදි අපරිධ පරීක්‍ෂණ නිල සුනඛ ඒකක පිහිටුවන ලදී.

මෙහිදී සිදු වන්නේ යම් අපරාධයක් පොලිස් වසමක සිදුවූවිට එම අපරාධයට සම්බන්ධ සැක කරුවන් හඳුනා ගැනීමට අදාළ අපරාධ පරීක්ෂණය සිදු කරන විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු සැපයීම වේ. නිල සුනඛයා සපයන තොරතුරු මගින් අපරාධකරු හෝ සොර බඩු නිල සුනඛයා සිදු කරන රාජකාරියේ දීම අත්අඩංගුවට ගැනීමට හැකි වන අතර එසේ නොමැතිනම් නිල සුනඛයා එම අපරාධයට අදාළව සිදු කරන රාජකාරියේ දි ලබා දෙන තොරතුරු සහය කරගෙන විමර්ශන නිලධාරීන් පසුව එම අපරාධකරු හෝ සොර බඩු අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලබයි.

නිල සුනඛයා සිදු කරන මෙම රාජකාරියේ දි අපරාධ වැළැක්වීමේ රාජකාරියද නිරන්තරයෙන්ම සිදු වේ.

ආර්ථික වශයෙන් වැදගත් වූ කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපළ, ප්‍රභූ ආරක්ෂක රාජකාරි ආවරණය සඳහා ජනාධිපති අග්‍රාමාත්‍ය හා පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයන් වෙත පුපුරන ද්‍රව්‍ය පරික්ෂණ නිල සුනඛයන් අනුයුක්ත කර ඇත. ඉදිරි කාලයේදී ගාල්ල මාගම්පුර හා කන්කසන්තුරය වරායන් ද මත්තල හා යාපනය පලාලි ගුවන්තොටුපළ පරිශ්‍රයන් හි ද නිල සුනඛ ඒකකයන් ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙම රාජකාරි සඳහා අවශ්‍ය නවක නිල සුනඛයන් බඳවා ගැනීම සඳහා විදේශයෙන් සුනඛයන් ආයයනය කිරීමේදී වැයවන විදේශ විනිමය අවම කරගැනීම සඳහා නිල සුනඛ කොට්ඨාසය තුළම සුනඛයන් අභිජනනය කර සුනඛ පැටවුන් ලබාගැනීම වර්තමානයේ සාර්ථකව සිදු කරමින් පවතී.

අධිවේගී මාර්ගයන් භාවිතයෙන් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත අවශ්‍ය සහය ලබාදීම හා ඔවුන්ගේ පුපුරන ද්‍රව්‍ය පරික්ෂණ නිල සුනඛයන් හා හසුරවන්නන් පුහුණු කර ලබා දෙන අතර එයට අමතරව සන්නාහ සන්නද්ධ සේවාවන් වන ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවන්ට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය නිල සුනඛයන් හා හසුරවන්නන් පුහුණුකර ලබාදීම සිදු කරමින් සිටී. මෙරට ආරක්ෂක අංශයන් වෙත පමණක් නොව විදේශීය රාජ්‍යයක් වන මාලදිවයින් රාජ්‍යයේද මත් උවදුර මැඬලීම සඳහා මාලේ ගුවන්තොටුපළෙහි මත් ද්‍රව්‍ය පරික්ෂණ නිල සුනඛයන් යොදවා සාර්ථක ලෙස රාජකාරි ඉටුකර ඇත.

වර්තමානයේ නිල සුනඛ කොට්ඨාසය ආ ගමන් මඟ තුළදී ජන සමාජයේ හදිසියේ ඇතිවන පීඩාවන් වන, ස්භාවික විපත් වලදී ඔවුන්ට අහිමිව මහ පොළොවේ වැලලීයන සිය ඥාතීන්ගේ මෘත ශරීරයන් සොයාගැනීම සඳහා සුනඛයින් පුහුණු කිරීම සාර්ථකව සිදුකර ඇත. එමෙන්ම වාර්ෂිකව රට තුළ වරින් වර හිස ඔසවන ඩෙංගු වසංගත තත්ත්වයන් මැඬ පැවැත්වීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසින් නිල සුනඛයින් යොදවා මදුරු කීටයන් හඳුනාගැනීමේ පුහුණු කිරීම ද සාර්ථකව සිදුකර ඇත.

තම රාජකාරි විෂයන්ටම පමණක් සීමා නොවී පොලිසිය හා මහජනයා අතර සම්බන්ධතාව ඇති කිරීම සඳහා නිල සුනඛයන් විසින් සිදුකරන නිල සුනඛ සංදර්ශන රාජකාරි තුළින් ජන සමාජයට අවශ්‍ය විනෝදාශ්වාදය ලබාදීම පමණක් නොව වර්තමාන තරුණ පරපුර මත් උවදුරින් ගලවා ගැනීම සඳහා වන අධ්‍යාපනික දැනුවත් කිරීමේ සේවය ඉටු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment