ආර්ථිකය අකුළන ආණ්ඩුව සංඛ්‍යා විජ්ජා පෙන්වනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

98

රට ගොඩගැනීමට නම් ආර්ථිකය වර්ධනය කළ යුතු වුවත් වත්මන් රජය ආර්ථිකය සංකෝචනය කරමින් යන බවත් වැට් බදු වැඩි කර අතේ තියෙන තුට්ටු දෙක පවා අහිමි කර ඇති මොහොතක ව්‍යාජ සංඛ්‍යාලේඛන සහ දත්ත ඉදිරිපත් කර තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් වැඩ කරන යුගයක්, නිෂ්පාදන හා අපනයන යුගයක් නිර්මාණය කරන්න අලසකමින් කම්මැලිකමින් තොරව සියලු දෙනාම සූදානම් විය යුතු බවත් ලෝකයේ අංක 1 වීමට නම් කයිවාරු ගැසීමෙන් තොරව වැඩ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ සදාකාලික සහනාධාර නැති මුත් නැගී සිටීමට අවැසි සියලු ශක්තීන් ලබා දෙන බවයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විල්ගමුව උඩුවෙල ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයේ අවාසගේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදල් එකතු කර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කිරීම සැබෑ සංවර්ධනය නොවන බවත් සැබෑ සංවර්ධනය යනු බදු මුදල්වලින් තොරව වෙනත් ක්‍රම හරහා රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බොරු සෝබන, කතා, කයිවාරු කියන නැවතත් 2019 මෙන් අන්දවන සහ ඇන්දවෙන, ඩොලර් හිඟයට රුපියල් හිඟයට කිසිදු විසඳුමක් නැති බලවේගවලට නැවත බලය ලබා දී රට විනාශ මුඛය කරා ගෙන නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද හෙතෙම කීවේය. ඩොලර් හිඟය සහ රුපියල් හිඟය යන මූල්‍ය ගැටලු දෙකට විසඳුම් දිය හැකි සැබෑ කණ්ඩායම කුමක්ද කියා බුද්ධිමත්ව තීරණය කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලන්නේ යැයි ද ඔහු පැවසීය. බොරුවට කයිවාරුවට සෝබනයට සංදර්ශනයට නැවත නැවතත් රැවටෙනවා වෙනුවට ගම හදා රට හදන දුප්පත්කම තුරන් කර වහල්භාවයෙන් තොර අභිමානවත් ජන ජීවිතයක් කරා යනවාද යන තීන්දුව ජනතාව විසින් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment