බරක් නොවිය යුතු බදු බර

686

මේ දිනවල අප රටේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ බදු ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දොස්තරවරු ඇතුළු වෘත්තිකයන් මත පනවා ඇති බද්දට මේ වනවිට රට තුළ විශාල විරෝධතාවක් මතුව ඇත. උද්ධමනය ඉහළ ගොස් ජීවන තත්ත්වය පහළ වැටී ඇති අවස්ථාවක මෙම බදු බර තමන්ට දරා ගත නොහැකි බවට වෘත්තිකයෝ චෝදනා කරති. නමුත් රජය පැත්තෙන් පෙන්වා දී ඇති කාරණය වන්නේ පවතින ආර්ථික අර්බුදය හමවේ අකැමැත්තෙන් හෝ බදු ගැසීමක් සිදුව ඇති බවයි. රජය එසේ පැවසුව ද මේ වනවිට එහි අනර්ථකාරී ප්‍රතිඵල ද රටට ලැබෙමින් පවතී. දොස්තරවරු ඇතුළු වෘත්තිකයන් ලැබුණු පළමු අවස්ථාවේදී ම රට හැර යෑමට උත්සාහ කරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. රටට සම්පතක් වූ වෘත්තිකයන් රට හැර යෑම තුළ සිදුවන හිඩැස පිරවීම හිතන තරම් පහසු නැත. උදාහරණයක් ලෙස වෛi ක්‍ෂේත්‍රය ගනිමු. විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්‍ෂතා පෙන්වන ප්‍රවීණ විශේෂඥ වෛiවරයකු රට හැර ගියහොත් ඔහුගේ හිඩැස දවසින් දෙකින් පිරවිය නොහැක. මේ පිළිබඳව වහාම බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. රජයක පැවැත්මට බදු අය කළ යුතු සේම බදු ගෙවන්නා පීඩනයට පත් නොවන අයුරින් එය ක්‍රියාවට නැංවීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

වෘත්තිකයන් මත පනවා ඇති බද්ද පිළිබඳ සමාජයේ මෙවැනි කතාබහක් තිබියදී වැට් බද්ද ලබන ජනවාරියේ සිට 18% දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇත. වැඩි කළ වැට් බද්දේ බර බොහෝදුරට දැරීමට සිදුවනුයේ පාරිභෝගිකයාට ය. වැට් බද්ද වැඩිකිරීම හා නිෂ්පාදනය පිරිවැය ඉහළ යෑම ඇතුළු භාණ්ඩ හා සේවාවල ඉහළ යන මිල නිෂ්පාදකයන් සහ ව්‍යාපාරිකයන් දරනු ඇතැයි විශ්වාස කළ නොහැක. පවතින ආර්ථික අවපාතය හමුවේ වැට් බද්දේ බරත් තමන් මත පැටවුණහොත් පාරිභෝගික ජනතාවට යන්න වෙන්නේ හොම්බෙනි. එනිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම ද අදාළ බලධාරීන් සතු කාර්යයකි.

මේ අතර සීනි කිලෝ එකක් සඳහා වූ ශත 25 ක බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ වනවිට වෙළෙඳ පොළේ රුපියල් 250 ක් පමණ වූ සීනි කිලෝවක මිල රුපියල් 310 ත් රුපියල් 320 ත් දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බව පැවසේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත්තේ සීනි සඳහා පාලන මිලක් නියම කරන බවයි. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළත් සීනි මිල වැඩිවීම හරහා සීනි ආශ්‍රිත ආහාර, බේකරි නිෂ්පාදන ඇතුළු රසකැවිලි මිල ඉහළ යෑම වළක්වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

2022 වර්ෂයේ ඔක්තෝබර් 14 වැනිදා එතෙක් සීනි කිලෝ එකක් සඳහා පැවති බද්ද රුපියල් පහනේ සිට ශත 25 දක්වා අඩු කිරීමටත් ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව පියවර ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස සුප්‍රකට සීනි සමාගමක් අසීමිත ආදායමක් ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1676 ක් බව විගණකාධිපතිවරයා ගණන් බලා තිබිණි. මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබඳව විවිධ වාද විවාද පැවැත්වුණද රටට අහිමි වූ ආදායම යළි ලැබුණු බවක් නොපෙනේ.

බදු ගැන කතා කිරීමේදී බදු දැලට හසු නොවී පැනීමට තැත් කරන පිරිස ගැන ද අනිවාර්යයෙන් ම අවධානය යොමු කළ යුතුය. සුරාබදු දෙපාර්තමේන්තුව මේ වනවිට මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවා ඇත. ඊට හේතු වී ඇත්තේ අදාළ සමාගම් රජයට කෝටි 66 ක බදු පොල්ලක් තැබීම නිසාවෙනි. දීර්ඝ කාලයක් තිස්සේ මෙම සමාගම් විසින් බදු පැහැර හැර ඇති බව පැවසේ. තත්ත්වය එසේ නම් බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ක්‍රමානුකූල කිරීමට අදාළ බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුය. ආර්ථිකය මෙහෙයවීම සඳහා බදු අය කළ යුතු සේම බදු අයකර ගැනීමේදී ජනතාව පීඩාවට පත් නොවන අයුරින් එය ක්‍රියාත්මක විය යුතුය. පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්ත අසරණ වී සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් ක්‍රියාකිරීම බලධාරීන්ගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment