දුම පිටුපසින් ආ ගින්දර

2226

පෙරේදා රාතී‍්‍ර කාලයේදී මිරිහානේදී හටගත් සිද්ධිය ජාතික මට්ටමේ ඛේදවාචකයකි. ජීවන වියදම දරා ගැනීමට නොහැකි තරම් ඉහළ යෑම ද ඉන්ධන හිඟය ද ලයිට් කැපිල්ල ද නිසා බරපතළ ලෙස හිත් අමාරු කරගෙන සිටි ජනයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙසෙන මිරිහානේ පැඟිරිවත්ත පාරට රැස් වී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ හැටිත් එය කෙළවර වූ ආකාරයත් මේ වනවිට මුළුමහත් ශී‍්‍ර ලංකාවම දන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සිවිල් උද්ඝෝෂණ සහ මහජන කැලඹීම් නිතරම අවසන් වන්නේ පොදු දේපළවලට ගිනි තැබීමෙනි. මේ අනුව උද්ඝෝෂකයන් හෝ උද්ඝෝෂකයන් ලෙස පෙනී සිටි වෙනත් පාර්ශ්වයක් හෝ ශී‍්‍ර ලංකා යුද හමුදාවට අයත් බස් රියක් පෙරළා ගිනි තැබූහ. ඉන්පසු තවත් වාහන කිහිපයකට ද හානි කරන ලද බව දැන ගන්නට තිබේ. සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණයක් සඳහා එන විට කැති පොලු, පෙට‍්‍රල් බෝම්බ, අත් බෝම්බ යනාදිය ගෙන එන්නෙ නැත. එවැනි අයුධ ගෙන එන්නේ නම් එය සිවිල් උද්ඝෝෂණයක් නොව ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට එන ගමනකි. මිරිහානට පැමිණි ජනයා උද්ඝෝෂණය සඳහා ආවේ හිස් අතිනි. එසේ හිස් අතින් පැමිණි මිනිසුන් තිරිසනුන් බවට පත් කිරීමට එම මිනිසුන්ට පෙරටුව නොව පසුපසින් පැමිණි තවත් පිරිසක් සිටියහ. බස් ගිනි තබන ලද්දේ ඒ තිරිසනුන් විසිනි. හැබැයි ඇතුළට යන්නේ ඒ කට්ටිය නොව සාමාන්‍ය උද්ඝෝෂකයෝය.

ආණ්ඩුවක් පෙරළීම සඳහා මේ රටේ මිනිසුන් ලේසියෙන් පාරට බහින්නේ නැත. ආණ්ඩු පෙරළීමට තබා බිම දිගේ පෙරළීමටවත් අපේ මිනිසුන්ට අද පණක් නැත. ශී‍්‍ර ලංකාව සෑම කල්හිම කිසියම් බලවතකුගේ පා පහර නිසා ඇඟ තලා ගත් ජාතියකි. 1505 දී මෙරටට පැමිණි ආක‍්‍රමණිකයෝ ඉතා ක‍්‍රමානුකූල ලෙස මේ රටේ ජනයා තලමින් සහ පෙළමින් සූරා කන්නට පටන් ගත්හ. එය 1948 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට හැර යෑමෙන් පසු අවසන් වෙතැයි මේ රටේ ජනයා කල්පනා කළ ද එම අපේක්ෂාව කිසි කලෙකත් ඉටු වුණේ නැත. එතැන් පටන් අලුත් සිංහල අධිරාජ්‍යයක් පටන් ගත් අතර එය ඉංගී‍්‍රසි උගත් ධනපති පංතිය විසින් පාලනය කරන ලදී. ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදියා සිදු කළ සූරාකෑම සහ කෲර පාලනය ඉංගී‍්‍රසීන්ට වඩා හොඳින් කිරීමට සිංහල අධිරාජ්‍යවාදීන්ට හැකි විය. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සමගි පෙරමුණ ආණ්ඩුව මගින් මෙරට පාලනයේ සහ චින්තනයේ කිසියම් වෙනසක් කිරීම අපේක්ෂිත වූ නමුදු එම කි‍්‍රයාවලිය ඇරඹි ටික දිනකින්ම එම ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් රැකියා දීම සඳහා තරුණියන් හෝටල් කාමරවලට ගෙන යෑමට පටන් ගත්හ. ඊළඟට ආණ්ඩුවේම කට්ටිය තම තමන්ගේ පිඟන්වලට බත් මාළුපිනි වැඩි වැඩියෙන් බෙදා ගන්නට වූහ.

1977 පැවති මැතිවරණයේදී සමගි පෙරමුණ ආණ්ඩුව පැරදුනේ පාර්ලිමේන්තු ආසන 8 ට බැසීමෙනි. 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව සීග‍්‍ර සංවර්ධනයක් සඳහා රට යනු පිණිස ලොරෙන්සෝ ද අල්මේදා රා වෙළෙන්දන්ට ණය වුණා මෙන් පිට රටට ණය වීමේ පුරුද්දක් පටන් ගත්තේය. එම පුරුද්ද චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුව විසින් දිගින් දිගටම ගෙන යන ලදී. මෙය වඩාත් හොඳට කරන ලද්දේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු පේළිය විසිනි. එතැන් පටන් ලංකාව ලෝකයේ විශාලම විදේශීය ණයකාරයන්ගෙන් එකෙක් බවට පත් විය. අද වනවිට සෑම ශී‍්‍ර ලාංකිකයෙක්ම දේශීය හා විදේශීය වශයෙන් රුපියල් ලක්ෂ අටක් හෝ දහයක් ණය ය. කොවිඞ් අර්බුදය ආවේ ලංකාවට පමණක් නොවේ. ලෝකයේ හැම රටකම එම අර්බුදය පැවතියේය. එහෙත් ඒ කාටත් අර්බුදයක් පමණක් නොව ආර්ථිකය ද ජය ගැනීමට හැකි විය. කොවිඞ් නිසා නන්නත්තාර වීමට ගිය ඉන්දියාව පසුගිය සතියේදී අපට ඩොලර් බිලියන එකහමාරක ණයක් දුන්නේය. කොවිඞ් නිසා වැලේ වැල් නැති වූ බංගලාදේශය මීට මාස කිහිපයකට පෙර ඩොලර් මිලියන 250 ක් ණය වශයෙන් අපට දුන්නේය. අප ණය නොගත්තේ නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල්වලින් පමණි. මේ රටවල් තුනේම ආර්ථිකය ඉතා සවිමත් මට්ටමක පවතී. නේපාලය ටිකක් අබල් බබල් වුව ද ඒ රටේ හටගන්නා ආර්ථික ගැටලු විසඳීමට ඉන්දියාව ඕනෑම වෙලාවක උපකාර කිරීමට නියමිතය.

මේ එළැඹ තිබෙන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ හඬට සවන්දිය යුතු කාලයයි. ආණ්ඩුවේ ඇතැම් වැඩ ජනතා කැමැත්ත ඉක්මවා ගොස් තිබේ. වැඬේ කොච්චර හොඳ වුණත් රටේ ජනයා කැමැති නැත්නම් ඒ වැඩෙන් වැඩක් නැත. නෙළුම් කුලුන මුදල් නාස්ති කළ විකාරයකි. මත්තල ගුවන්තොටුපළ සත පහකට වැඩක් නැති ව්‍යාපෘතියකි. රාජපක්ෂවරු දැන හෝ නොදැන හොඳ වැඩවලට මෙන්ම වැඩක් නැති වැඩවලට ද මුදල් වැය කළහ. ජනතාව මේ බව දනිති. ඔවුන් තුළ මතක හිටින්නෙ කළ හොඳ වැඩ නොව නරක වැඩ පමණයි. ඒ තමයි පෘතග්ජන ස්වභාවය. අපි කවුරුත් මිනිස්සු වෙමු.

ජනතාවගේ හඬට සවන් දීම ආණ්ඩුවේ යුතුකම නොව වගකීමය. එසේම සිවිල් උද්ඝෝෂකයන් පසුපස පැමිණ ඔවුන්ගේ ගිණුමට භූමිතෙල් වත්කළ ප‍්‍රචණ්ඩකාරීන් ගැන ද හෙළි කර ගත යුතුමය. පෙරේදා රෑ හටගත් සිදුවීම වැන්නක් යළි හට නොගනිත්වා.

advertistmentadvertistment
advertistmentadvertistment