මාසෙ පඩිය ගෙවන්නේ තුන් පාරකට – අමතර කොටස්වලින් ඉන්ධනවලින් ගසා කනවා – වෘත්තීය සමිතිවලින් චෝදනා

432

සමහරක් ඩිපෝ කළමනාකරුවෝ ගසා කනවා – ලංගම සභාපතිගෙන් චෝදනා

ශ්‍රී ලංගමයේ හොර මගඩි

ශ්‍රී ලංගමේ ඩිපෝ 107 න් 70 කම සේවකයන් සඳහා මාස තුනකින් මාසික වැටුප එකවර ලබා දී නොමැති බැවින් සේවකයන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ශ්‍රී ලංගම සේවකයන් සඳහන් කළේය. කළමනාකාරීත්වය සහ ඉහළ නිලධාරීන්ගේ සොරකම් හා මගඩි මීට හේතුව බව ඔවුහු කියති.

මේ පිළිබඳව ලංගම වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ උසස් තත්ත්වයේ අමතර කොටස් සඳහා මුදල් ගෙවා බාල අමතර කොටස් ඩිපෝ වෙත ලබා දීමෙන් බස්රථ නිතරම කාර්මික දෝෂවලට ලක් වී ගමන් වාර නතර කිරීමට සිදුවන බවයි. කිලෝමීටර් දොළොස්දහසක් පමණ ධාවනය කළ හැකි නැවත පිරවුම් ටයර් වෙනුවට වැඩිමිලට බාල ටයර් ලබාදීමෙන් කිලෝමීටර් හාරදහසකින් පමණ ටයර් මාරු කිරීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය. ඩිපෝවේ බස්රථ සඳහා ගෙනෙන ඉන්ධන පිටස්තරයන්ට ලබාදී විශාල ලෙස මුදල් ගසා කමින් ඒ සියලු වැරදි කොන්දොස්තර හා රියැදුරන්ගෙන් සිදුවන බවට ඉහළ කළමනාකාරීත්වය චෝදනා කරමින් සිටින බවද කීය. ඩිපෝවල ඉහළ කළමනාකාරීත්වය සහ උසස් සේවකයන් එකට එකතු වී මෙලෙස සොරකම් කිරීම තුළින් ඉදිරියේදී ලංගම ඉතුරු වේද යන්න පිළිබඳවත් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව වෘත්තීය සමිති නායකයන් කීය.

ලංගමය තුළ සිදුවන දූෂණ සහ වංචා පිළිබඳව දැනුම්දෙන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණෙන නිලධාරීන්ට පවා අල්ලස් ලබාදී යටගැසීම් සිදු කරමින් ඇතැයිද ඔවුහු කියති. මෙලෙස සිදුවට දූෂණ සහ අක්‍රමිකතා නතර කර රටට අවශ්‍ය මගී ප්‍රවාහන සේවය යාවත්කාලීන කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද ඔවුන් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංගමයේ සභාපති එස්. එම්. ඩී. එල්. කේ. ඩී. අල්විස් ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ඩිපෝව මගින් උපයන ආදායමෙන් වැටුප් ගෙවිය යුතු බවයි. ආදායම් ඉපයීම ප්‍රමාද වන අවස්ථාවලදී වැටුපෙන් කොටසක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කරන ලද මුදල්වලින් ගෙවීමට කටයුතු කරන බව සඳහන් කළ අතර ආදායම උපයාගත් විට ඉතිරි වැටුප ගෙවීමට කටයුතු කරන බවද කීය. නැවත අප විමසීමක් කළේ ආදායම ඉපයීමට නොහැකි වුවහොත් වැටුප් නොගෙවා සිටින්නේද යන්නයි. එවිට සභාපතිවරයා සඳහන් කළේ එවැන්නක් සිදුවුවහොත් මහා භාණ්ඩාගාරයේ මුදල්වලින් ගෙවීමට කටයුතු කරන බවත් ඒ හේතුවෙන් වැටුප ප්‍රමාද විය හැකි බවද සභාපතිවරයා කීය.

අමතර කොටස් ලබා ගැනීමේ බලය ඩිපෝ කළමනාකාරිවරයා සතු බවත් ඔවුන් විසින් යම් අවස්ථාවලදී වැඩි මිලට බාල අමතර කොටස් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයිද කීය. ඩිපෝ සඳහා ටයර් මිලදී ගැනීමේදී ඒ ඒ ඩිපෝ මගින් ටයර් කර්මාන්තශාලා හිමියන් සමඟ ගිවිසුම් ඇති කරගෙන ඇති බවත් අදාළ ගිවිසුමට අනුව නියමිත කිලෝමීටර් ප්‍රමාණය ධාවනය කළ නොහැකි වුවහොත් ඒ සඳහා පාඩුව අය කර ගැනීමේ හැකියාව ද ඩිපෝ කළමනාකාරවරයා සතු බවත් සඳහන් කළේය. එය නිසි පරිදි සිදු නොවන්නේ ඩිපෝ කළමනාකාරීවරයා සහ එහි නිලධාරීන්ගේ ඇති දුර්වලකම් නිසා බවද කීය.

කෙසේ වෙතත් ආයතන තුළ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණහොත් වහා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිලධාරීන් පත්කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment