පිටරට මුද්‍රිත බතික් හොර පාරෙන් ගෙන ඒමෙන් මෙරට බතික් කලාව වළපල්ලට

57

අපට යනඑනමං නෑ – අපි අසරණයි – කර්මාන්තකරුවෝ දුක කියති

මෑත කාලයේ සිට කූඨ ජාවාරම්කරුවන් පිරිසක් විදෙස් රටවලින් මුද්‍රිත බතික් මෙරටට ගෙන්වන බවත් රජයට විශාල ලෙස බදු මුදල් වංචා කරමින් ඔවුන් සිදු කරන මෙම ජාවාරම හේතුවෙන් දේශීය බතික් කර්මාන්තයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවද දේශීය බතික් කර්මාන්ත නිර්මාණකරුවෝ පෙන්වා දෙති.

එළඹෙන උත්සව සමයේ තමන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳ පොළෙහි තිබෙන ඉල්ලුමට විශාල ලෙස බලපෑමක් මුද්‍රිත බතික් හොර පාරෙන් ගෙන්වීම හේතුවෙන් සිදුවන බව පෙන්වා දෙන කර්මාන්තකරුවෝ මීට කඩිනම් විසඳුම් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිති. ප්‍රමිතියෙන් තොර බතිත් වෙළඳ පොළට ඒම අත්හිටුවා මෙම කූඨ ව්‍යාපාරයට වැට බඳින ලෙස එම පිරිස රජයෙන් ඉල්ලා සිටිති.

චම්මි සමරවීර,

පිටරටින් එන ප්‍රින්ටඩ් බතික් රෙදි හේතුවෙන් දේශීය කර්මාන්තයක් විදියට බතික් කර්මාන්තය විශාල පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. ඕනම භාණ්ඩයක් ගේන්න ලයිසන් එකක් අවශ්‍යයි. නමුත් කොහොමද මේ අවසරය ලැබිලා තියෙන්නෙ. හොර පාරෙන් එන මුද්‍රිත බතික් රෙදි නිසා රජයට විශාල බදු ප්‍රමාණයක් අහිමිවෙනවා. ඒවගේම ප්‍රමිතියෙන් ඉතා බාල රෙදි වර්ග වෙළඳපොළේ අඩු මිලට ලබාදීම හේතුවෙන් අපේ බතික් රෙදිවලට තිබුණ ඉල්ලුම දැන් අඩු වෙලා. මේ කර්මාන්තය දැන් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා. අපි රජයෙන් ඉල්ලනවා මේ සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.

දිනේෂ් එරන්ද:

වසර ගණනාවක් තිස්සේ මේ පවතින ගැටලුව ගැන අපි මාධ්‍ය හරහා, ඒ වගේම අදාළ බලධාරීන් දැනුවත් කර තිබෙන්නේ. නමුත් තාම විසඳුමක් නෑ. මේ කර්මාන්තයෙන් ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයින් පමණක් නොව විදේශික ජාතිකයින්ගෙන් විශාල ඉල්ලුමක් අපේ බතික්වලට තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවට බදු අහිමි කරමින් ගෙන්වන මේ ප්‍රින්ට් බතික් නිසා කර්මාන්තයෙන් බොහෝ දෙනෙක් ඉවත් වෙමින් පවතිනවා. මේ පවතින ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

පිටරට මුද්‍රිත බතික් හොර පාරෙන් ගෙන ඒමෙන් මෙරට බතික් කලාව වළපල්ලට

නිලූ ලියනගේ:

අද මේ කර්මාන්තයේ විශාල ලෙස යෙදිලා ඉන්නේ කාන්තාවෝ. බතික් ව්‍යාපාර විශාල ලෙස ප්‍රචලිත වෙලා තියෙන්නෙ මාරවිල, කොස්වාඩිය සහ හාල්පන්විල ඇතුළු ප්‍රදේශ ගණනාවක. කාන්තාවන්ට ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් විදිහට පහසුවෙන් පවත්වාගන්න පුළුවන් කර්මාන්තයක්. නමුත් අද ඉන්දියාවෙන් එන මුද්‍රිත බතික් හේතුවෙන් මෙම කර්මාන්තය පවත්වා ගැනීම විශාල ගැටලුවක් වෙලා. විශාල ඉල්ලුමක් තිබුණු අපේ බතික්වලට දැන් ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ මුද්‍රිත බතික් හේතුවෙන්. එනිසා කර්මාන්තය රැක ගන්න රජය විශාල වගකීමක් තියෙනවා.

රජිව් මාරසිංහ:

මේ වන විට අපේ බතික් කර්මාන්තයට විශාල ලෙස අවැඩක් පවතින කාලයක්. අපේ රටේ බතික් නිර්මාණ බොහෝ අය අන්තර්ජාලයට යොමු කරනවා. ඒ එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් මත. මේ නිර්මාණ කූඨ ව්‍යාපාරිකයෝ කොල්ලකාලා ඒ නිර්මාණ ප්‍රින්ට් කරලා එළියට දැමීමේ ව්‍යාපාරයක් තමයි සිද්ධ වෙන්නේ. මේ වෙද්දි ඉන්දියාවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවෙත් මේ ප්‍රින්ටින් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඇත්තටම පාරිභෝගිකයන්ට බතික් කියන එකේ අවබෝධයක් නෑ. අපේ බතික් සහ ප්‍රින්ට් බතික් අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද ඒ වගේ පැවැත්මක් නෑ. ගුණාත්මක තත්ත්වයක් නෑ. සාපේක්ෂව ප්‍රමිතියක් නෑ. සැබෑ ප්‍රශ්න හඳුනගන්න අපට වේදිකාවක් හදලා දෙන්න. එතකොට අපිට මේ ප්‍රශ්න රජයට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට රජයට පුළුවන්වෙයි මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment