සිනමාවට ආදරය කළ ති.නා.

92

සිංහල සිනමාවට ඉතා වටිනා සේවයක් ඉටු කළ තිස්ස නාගොඩවිතාන මහතා සිහිකිරීම උදෙසා මෙම සටහන ලියමි. ඔහු නිහඬව සිංහල සිනමාවට කළ සේවය ඇගැයිය යුතුය.

පැරැණි සිංහල සිනමාව නැවත අනාගත පරපුරට බැලීමට අවස්ථාව ලබාදීම ඔහුගේ සිත තුළ විය. ඔහු තමන්ගේ කාලය, මුදල, ශ්‍රමය එයට දවස පුරා කැප කළේය. 1947 පටන් සිංහල චිත්‍රපට තැනුණේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාරවලය. ඇතැමුන් එසේ පිටපත් රැගෙන ආවත් දළ සේයාපට රැගෙන ආවේ නැත. ඉන් බොහොමයක් විනාශ වී තිබුණි.උදාහරණයක් ලෙස දොස්තර, කැලෑ හඳ, උමතු විශ්වාසය යන වටිනා චිත්‍රපටවලට සිදුවූයේ එයයි. එය සොයා බලා තේරුම් ගත් එතුමා ඉන්දියාවේ වාහිනි, මොඩන්, ඒ. වී. එම්.වැනි චිත්‍රාගාරවලට ගොස් ඒවා සොයා බලා ගත හැකි කොටස් කීපයක් රැගෙනවිත් සංරක්ෂණය කළේය. සරදම්, සල්ලි – මල්ලි සල්ලි, හදිසි විවාහ ඉන් කිහිපයකි. පසුව ඔහුගේ සංරක්ෂණය ගැන තිබුණ කැපවීම නිසාම ඔහු නිෂ්පාදකවරුන් ළඟ දිරා විනාශ වෙමින් තිබුණු කඩවුණ පොරොන්දුව, මාතලේ, අහංකාර ස්ත්‍රී, රම්‍යලතා වැනි වටිනා චිත්‍රපට ආරක්ෂා කළේය. අද රූපවාහිනියෙන් හෝ ඩී. වී. ඩී. මගින් ඒවා කවුරුත් බලන්නේ ඔහුගේ කැපවීම නිසාය. මෑතකදී ඔහු සූරචෞරයා, වන මෝහිනී වැනි දුර්ලභ චිත්‍රපට වීඩියෝ මගින් ජනතාවට බෙදා හරින ලදී.

එසේම 1960 දශකයේ ආ සංදේශය,දීපසිකා, කළ කළ දේ පල පල දේ, පටාචාරා, වෙසතුරු සිරිත වැනි චිත්‍රපට ද ආරක්ෂා කර ඇත. ස්වීප් ටිකට්, සුදු දුව, සුභ සරණ සැප සිතේ ද ඒ අතර වේ.

ඔහු තුළ සිනමාව ගැන බොහෝ දැනුමක් තිබුණි. 1947 සිට ආ පැරැණි චිත්‍රපටවල ඕනෑම විස්තරයක් මතකයෙන් කීමට ඔහුට හැකියාව තිබුණි. එසේම ඔහු සතුව චිත්‍රපට පෙන්වන ප්‍රොජෙක්ටර් යන්ත්‍ර, ශබ්ද උපකරණ, තිර සෑම දෙයක්ම තිබුණේය. එකල රූපවාහිනී නොතිබුණ නිසා ගම් නියම්ගම්වලට ගොස් චිත්‍රපට පෙන්වීමට හොඳ කාර්ය මණ්ඩලයක් ද ඔහු සතුවිය.

තිස්ස නාගොඩවිතාන මහතා 70 දශකයේ ජනප්‍රිය ගායකයෙකි. ඔහු ගැයූ “වාසනා ලොවක් ගෙනාව” හා “ඔබ දකින්න” යන ගීත ඉතා ජනප්‍රිය ඒවාය. එකල සංගීත ප්‍රසංගවලට ඔහු නැතුවම බැරි ගායකයෙක් විය. එසේම ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. අධ්‍යක්‍ෂවරයෙකි. කෝලංකාරයෝ, කිංකැකිල්ලේ ඔහුගේ නිර්මාණ විය. හෙතෙම තිර කතා රචකයකු මෙන්ම චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරයෙකි.

1977 න් පසු ආ බොහෝ චිත්‍රපට ද ඔහු සංරක්ෂණය කළ බව අපට දැනෙන්නේ ති. නා. යන ලේබලය යටතේ වරින් වර රූපවාහිනියේ දකින නිසාවෙනි.

රන්ජිත් කරුණාතිලක
රේඛා සිනමාහල
කඩුවෙල

advertistmentadvertistment
advertistmentadvertistment