ජනපති කිව්ව 1700 වතු සමාගම් දෙන්නේ නෑ – කම්කරුවෝ විරෝධතාවේ

93

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබියදී එම වැටුප ලබාදීමට වතු සමාගම් එකඟතාවය පල නොකිරීමට විරෝධය පාමින් වතු කම්කරුවන් (21) දින සිට ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහ උද්ඝෝෂණවලට දමිල ප්‍රගතිශීලී සන්ධානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.

පා.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (20) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ රටේ පවතින ජීවන වියදමට සරිලන සේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා කඩිනමින් වැඩි කරන ලෙසට වතු සමාගම් වලට උපදෙස් ලබා දී තිබියදී එම වැටුප වැඩි කිරීම වතු සමාගම් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

දැනට වතු කම්කරුවෙකුට ගෙවන රු. දහසක දෛනික වැටුපට අමතරව රු. 400 ක මුදලක් වැඩි කර දීමට වතු සමාගම් එකඟතාවය පල කර ඇති බවත්, ඉතිරි රු. 300 කොන්දේසි සහිතව ලබාදීමට එකඟතාවය පල කර ඇති බවයි.

රජය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරයෙක් විසින් ඔහුගේ වෘත්තිය සමිතිය හරහා වතු සමාගම්වලට එරෙහිව මෙම වැඩවර්ජනය සහ උද්ඝෝෂණය දියත් කර ඇති බවත්, එම වැඩවර්ජනයේදී වතු කම්කරුවන් නොමඟ නොයවා රු 1700 දෛනික වැටුප ලබාදීමට කටයුතු කරන ලෙසයි පා.ම. පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ රජයක් තුළින් වතු කම්කරුවන්ට තේ ඉඩම් බෙදා දී ඔවුන් කුඩා තේ වතු හිමියන් බවට පත් කර වතු කම්කරුවන්ගේ දෛනික ආදායම වැඩි කිරීමට කටයුතු කරන බවද පා.ම. පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් පැවසීය.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment